Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th August 2021 10:12:12 Hours

චීන මහජන විමුක්ති හමුදාවෙන් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට කොවිඩ් මර්ධන එන්නත් පරිත්‍යාගයක්

චීන මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව වෙත පරිත්‍යාග කළ සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා 300,000 ක් අද (28) දින අලුයම දිවයිනට පැමිණියේය. ඒ සමඟ මහජන එන්නත්කරණය සඳහා ද තවත් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මෙරටට පැමිණි එන්නත් තොගය භාරගැනීමේ අවස්ථාවට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ත්‍රිවිධ හමුදාවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වැන් ඩොංග් (Senior Colonel Wan Dong) ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරින් කිහපදෙනෙකු ද සහභාගි වූහ.

චීන ජාතික ආරක්‍ෂක අමාත්‍යාංශය වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂඨ කර්නල් වැන් ඩොංග් (Senior Colonel Wan Dong) විසින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් වෙත පරිත්‍යාග කරන ලද එන්නත් මාත්‍රවන්ට අදාල ලියකියවිලි සංකේතාත්මකව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත ගුවන් තොටුපල පරිශ්‍රයේදී භාරදුන්නේය. එම අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ නාවික හමුදාධිපති රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න එක්ව සිටියහ.

මෙම එන්නත් තොගය මෙරටට ගෙන එම සඳහා ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණ කටයුතු චීනයේ බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සිදුකරන ලදී. මෙරටට රැගෙන ආ එන්නත් මාත්‍රාවන් භාරදීමේ අවස්ථාවට රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු ද ගුවන් තොටුපල පරිශ්‍රයට පැමිණ සිටියහ.