Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th August 2021 15:41:30 Hours

කොවිඩ්-19 වෛරසය ආසාදිත භික්‍ෂුන් වහන්සේලාට ප්‍රතිකාර සිදුකිරීම සඳහා යුද්ධ හමුදා භටපිරිස්වල ශ්‍රමදායකත්වයෙන් නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත කොවිඩ්-19 වෛරසය ආසාදිත භික්‍ෂුන් වහන්සේලාට ප්‍රතිකාර සිදුකිරීම සඳහා ස්ථාපනය කළ නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය මහා සංඝරත්නය වෙත පූජාකිරීමේ උත්සවයේදී කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති සහ වෑඋඩ දොඩන්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනාධිපති කම්මට්ඨානාචාර්ය පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමිපාණන් වහන්සේ “කොවිඩ්-19 වෛරසය පාලනය කිරීමේ කාර්යභාරයේ පෙරමුණගෙන කටයුතු කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් රට තීරණාත්මක කාල පරිච්ඡේදයකට මුහුණදී සිටින අවස්ථාවක තම දරුවන් විසින් දෙමාපියන් රැකබලා ගන්නා අයුරුන් කොවිඩ්-19 වෛරසය ආසාදනය වු මහා සංඝරත්නයට ප්‍රතිකාර සිදුකිරීම සඳහා ප්‍රථම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට මුලිකත්වය ගෙන ක්‍රියාකිරීම සම්බන්ධව ප්‍රසාදයෙන් යුතුව” අනුශාසනා කළහ.

මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදිතව පීඩාවට පත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සඳහා කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය ප්‍රථම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ලෙස ස්ථාපනය කර අද (30) දින උදෑසන මහා සංඝරත්නය වෙත පූජාකිරීමේ අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමගින් මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍ය සියලු පහසුකම් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ අනුග්‍රාහකත්වයෙන් සැපයීමට මුලිකත්වය ගෙන කටයුතු කල යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ගරු සුජිවා නෙල්සන් මැතිණිය ද එක්ව සිටියහ.

රටපුරා දිනෙන් දින කොවිඩ්-19 වෛරසය ආසාදිත භික්‍ෂුන් වහන්සේලා ප්‍රමාණය ඉහළයාමත් සමඟ උන්වහන්සේලාට ප්‍රතිකාර සිදුකිරිම සඳහා නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා සහ 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්නගේ අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර සහ 14 වන සේනාංකයේ භටපිරිස් භඨකාර්ය සම්පාදන ඒකකවල සහයෝගය ඇතිව දින කිහිපයක් තුල ස්ථාපනය කරන ලදී.

සියලුම වෛද්‍ය උපකරණ, ඖෂධ ගබඩාවක් සහ දැඩි නිරික්‍ෂණ ඒකකයකින් (High Dependency Units) සමන්විත මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු භික්ෂූන් වහන්සේලා 84 නමකට එකවර නවාතැන්ගෙන ප්‍රතිකාර ලබාගැනිම සඳහා කාමර 45 කින් සමන්විත වේ. සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවති මෙම උත්සවය සඳහා වැඩමවා වඳාල පූජ්‍ය ආචාර්ය වලේගොඩ ඥාණසිරි අනුනායක හිමිපාණන් සහ ලේඛකාධිකාරි පූජ්‍ය අත්තංගනේ ශාසනරතන හිමිපාණන් ප්‍රධාන මහාසංඝරත්නය විසින් සෙත්පිරිත් සඡ්ඣායනා සහ ආගමික වතාවත් සිදුකළහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වු ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සුජිවා නෙල්සන් මැතිණිය භික්‍ෂුන් වහන්සේලා වෙනුවෙන් ස්ථාපනය කළ නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය නිරික්‍ෂණය කළහ.

මෙම උත්සවය අතරතුරදී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ගරු සුජීවා නෙල්සන් මැතිණිය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට පහසුකම් ලබාදීමට අනුග්‍රහකත්වය දක්වමින් රෙදිපිලි සහ තවත් උපාංග කට්ටලයක් ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමිපාණන් වෙත සංකේතාත්මකව භාරදුන්නේය.

මීට දින කිහිපයටක පෙර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ගරු සුජිවා නෙල්සන් මැතිණිය සමගින් 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධිකරණ බ්‍රිගේඩියර් තුෂාර බාලසුරිය සහ තවත් නිලධාරින් කිහිපදෙනෙකු නවතමයෙන් ස්ථාපනය කල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරික්‍ෂණ සංචාරයක නිරතවෙමින් එහි ප්‍රගතිය පිළිබඳ සොයාබැලීය.

කොවිඩ් -19 වෛරසය ආසාදිත බෞද්ධ භික්ෂූන් වහන්සේලා උදෙසා ස්ථාපනය කල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය භාරදීමේ අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජිව සෙනරත් යාපා, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න, යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නිශාන්ත පතිරණ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධිකරණ බ්‍රිගේඩියර් තුෂාර බාලසුරිය ඇතුළු තවත් යුද්ධ හමුදා නිලධාරින් කිහිපදෙනෙකු, ජයමග පිලිසරණ ව්‍යාපෘතියේ සම්බන්ධිකරණ අධ්‍යක්‍ෂ විදුර රූපසිංහ මහතා සහ තවත් නිලධාරින් පිරිසක් සහභාගි වූහ.