Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th September 2021 15:22:50 Hours

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැලසීමියා රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සිය රුධිරය පරිත්‍යාග කරයි

වයඹ පළාතේ තැලසීමියා රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත ඉකුත් බදාදා (15) දින සිය රුධිරය පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී. ජාතික තැලසීමියා මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව කුරුණෑගල බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේදී මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සංවිධානය කෙරිණි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ට සමගාමීව ධනාත්මක චින්තනය පෙරදැරිව ජාතික අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වීමේ අරමුණින් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සහ විජයබාහු රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරල් සිසිර පිලපිටිය තැලසීමියා රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට මිල කළ නොහැකි සහයෝගයක් ලබාදෙමින් රුධිර පරිත්‍යාග කිරිම සඳහා භටපිරිස් වෙත උපදෙස් ලබාදුන්හ.

ඒ අනුව, සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැති මෙම රුධිර පරිත්‍යාග වැඩසටහනේදී විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 160 කට අධික ප්‍රමාණයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැලසීමියා රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිය රුධිරය පරිත්‍යාග කළහ. දිවයිනේ විශාලතම රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පිහිටි කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ රුධිර මධ්‍යස්ථානය සහ ජාතික තැලසීමියා මධ්‍යස්ථානයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය එක්ව මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

දිවයින පුරා ප්‍රතිකාර ලබන තැලසීමියා රෝගීන් 2500 කට අධික ප්‍රමාණයක් සිටින අතර සෑම රෝගියෙකුටම මසකට රුධිර පයින්ට් 1 කට ආසන්න ප්‍රමාණයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාදිය යුතු වේ. එසේම, වෛද්‍ය සංඛ්‍යාලේඛන වලට අනුව සෑම වසරකම නව රෝගීන් 50-60 ක් පමණ වාර්තා වේ.

කෙසේවෙතත්, මෙම රෝගයේ බලපෑම හමුවේ රුධිර මධ්‍යස්ථානයේ පවතින රුධිර හිඟතාවය හේතුවෙන් රෝහල් බලධාරින් රුධිර පරිත්‍යාග කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහයෝගය අපේක්‍ෂා කෙරිණි.

මෙම රුධිර පරිත්‍යාග වැඩසටහනට විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සුනිමල් හේමරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්වූහ.

මෙම වැඩසටහන අවසානයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් තැලසීමියා රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා යුද්ධ හමුදාවෙන් ලද පරිත්‍යාගශීලීත්වය සහ සහයෝගය පැසසුමට ලක් කෙරිණි.