Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th November 2022 05:39:32 Hours

කමාන්ඩෝ භටයින් 372 ක් ‘මෙරූන් හිස්වැසුම’ පැළඳ විසිරයයි

කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාඨමාලා අංක 50 - ඒ, බී, සී,ඩී,ඊ හා එෆ් යටතේ පුරා මාස 18 කට අධික කාලයක් ක්‍රියාන්විත උපායමාර්ගයන් පිළිබඳ විශිෂ්ඨ වු පුහුණුවක් හැදෑරු සුවිශේෂී වුත් හැකියාවන්ගෙන් යුත් නිලධාරින් 06 දෙනෙකු සහ සෙසුනිලයින් 366 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය පසුගිය සෙනසුරාදා (26) දින කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මාතෘභූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් ඕනෑම මෙහෙයුමක් සිදුකිරීමට නිරතුරුවම සූදානමින් සිටිමින් ජාතියේ අභිමානය සුරැකීම උදෙසා විශිෂ්ඨයින් අතර විශිෂ්ඨයින් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවට එක්වූ කමාන්ඩෝ භටයින්ගේ විසිර යාමේ පෙළපාලියට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒ.කේ.ජී.කේ.යූ ඥානරත්න එන්ඩීසි පිඑස්සී, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් පී.එස්.ජේ.ඩී සමරසේකර ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, එහිදී කමාන්ඩෝ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කදවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබූහ.

ඉන් අනතුරුව සම්මාන පෙළපාලියේ අණදෙන නිලධාරිගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසිරයන කමාන්ඩෝ භටයින්ගෙන් සැදුම්ලත් සම්මාන පෙළපාලිය නිරික්‍ෂණය කළේය. ඉන් පසුව විසිරයන කමාන්ඩෝ භටයින් සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමුවේය. පසුව, දුෂ්කරවූ විශේෂිත පුහුණුවක් හදාරා විශිෂ්ඨයන් අතර විශිෂ්ඨයෙකු වෙමින් දේශයේත්, ජාතියේත් වගකීම් ඉටුකිරීමට ‘නොහැක්කක් නොමැත’ යන ආදර්ශ පාඨය පෙරදැරීව කමාන්ඩෝ රෙජිමේන්තුව සමඟ එක්වු අභීත පුතණුවන්ට කමාන්ඩෝ ලාංඡනය ඔවුන්ගේ දෙමාපියන්ගේ සහ ළඟම ඥාතීන්ගේ සුරතින් පැළඳ වූහ.

සුවිශේෂි පුහුණුවක් හැදෑරීමෙන් අනතුරුව විශිෂ්ඨයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවට එක්වීම සංකේතවත් කරමින් ලෝකයේ විශේෂිත හමුදා සෙබලුන් පමණක් පළදින ‘මෙරූන් හිස්වැසුම’ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සමඟ එක්ව කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒ.කේ.ජී.කේ.යූ ඥානරත්න එන්ඩීසි පිඑස්සී, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වී.එම්.එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බී.එම්.එස්.කේ.කේ ධර්මවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් විසිරයන කමාන්ඩෝ භටයින් වෙත ප්‍රදානය කළහ.

‘මෙරූන් හිස්වැසුම’ (Maroon Berets) මගින් අදහස් කරන්නේ එය පැළඳ සිටින්නා සොල්දාදුවා ක්‍රියාන්විත උපායමාර්ගයන් පිළිබඳ විශිෂ්ඨ වු පුහුණුවක් හැදෑරු සුවිශේෂී වු හැකියාවන්ගෙන් යුත් හමුදාවකට අයත් බවයි.

අනතුරුව පුරා මාස 18 ක කාලයක් පැවති කමාන්ඩෝ පුහුණු පාඨමාලාවේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ කමාන්ඩෝ භටයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමීම සිදු විය. එහිදී, පාඨමාලාවේ දක්‍ෂතම කමාන්ඩෝ භටයාට හිමි සම්මානය දෙවන ලුතිනන් එම්.එස්. ඉසුරංග වෙත පිරිනැමුණු අතර, හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලාට හිමි සම්මානය සහ දක්ෂතම වෙඩික්කරුට හිමි සම්මානයන් පිළිවෙලින් සාමාන්‍ය සෙබල එම්.අයි. කරුණානායක සහ සාමාන්‍ය සෙබල එච්.එම්.එල්.එස්. කුමාර වෙත පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව සියලුදෙනා ආමන්ත්‍රණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් විසිර යන කමාන්ඩෝ භටයින්ට සිය සුභාශිංසන පිරිනමමින්, පුහුණුව තුළින් ලබාගත් කුසලතා සහ ගුණාංග තම වෘත්තීය ජීවිතය සාර්ථකව පවත්වාගෙන යාමට වැදගත්වන ආකාරය අවධාරණය කළ එතුමන් වැඩිදුරටත් “රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් රටේ ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රීයාවලිය ආරක්ෂා කරගැනීම සඳහා ඕනෑම අවස්ථාවක ඔබ සැවොම නිරතුරුවම සූදානමින් සිටිනු ඇතැයි මම අපේක්ෂා කරමි’’ යනුවෙන් පැවසීය. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කමාන්ඩෝ බලකාය වෙත විසිර යන විශිෂ්ඨයන් දායාද කළ දෙමාපියන් වෙත සහ පුහුණු උපදේශකයින් වෙත සිය කෘතවේදීත්වය පිරිනමන ලදී.

මෙම විසිරයාමේ උත්සවය සිහිපත් කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, උපදේශකයින් සහ විසිර යන කමාන්ඩෝ භටයින් සමගින් ගනු ලැබු සමුහ ඡායාරූපයකට ද යුද්ධ හමුදාධිපතිතුමන් එක්විය.

විසිරයාමේ උත්සවය අවසානයේදි, කමාන්ඩෝ සෙබළුන් ඔවුන්ගේ කමාන්ඩෝ යුධ පුහුණු හැකියාවන් මැනවින් ප්‍රදර්ශනය කරමින් විශේෂ සජිවි සංදර්ශනයක්ද ඉදිරිපත් කළහ. ඔවුන් සතු අසීමිත ශක්තිමත්භාවය, උපායමාර්ගික කුසලතාවයන් හා ප්‍රහාරක හැකියාවන් මනාව පිළිඹිබු කරමින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැඟවුණු වෙඩික්කරුවන්ගේ ඉලක්ක ගත කිරීම, ත්‍රස්තවාදී ග්‍රහණයට හසුවූ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම, වෙඩි තැබීමේ සංදර්ශන, යුධ සුනඛ (K9) සංදර්ශන සහ නිදහස් ආර පැරෂුට් සංදර්ශන ආදී අංග රැසක් ඉදිරිපත් කල අතර, සහභාගිවුවන් මහත් උද්යෝගයෙන්, ත්‍රාසයෙන් සහ විශ්මයට පත්ව මෙම අවස්ථාවන් නරඹනු ලැබීය.

මෙම විසිරයාමේ පෙළපාලිය දැකබලාගැනීම සඳහා ආඥාපති ආරක්‍ෂක සේනා මූලස්ථාන - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්. එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ විසිර ගිය කමාන්ඩෝ භටයින්ගේ දෙමාපියන් සහ ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගි වුහ.