Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2021 14:09:56 Hours

එළඹෙන නව වසර වෙනුවෙන් යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිගේ සුබපැතුම්

උතුරු ප්‍රදේශයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබන්නා වූ නව වසර වෙනුවෙන් සුභපැතුම් පිරිනැමීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (29) දින උදෑසන යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත විය.

යාපනය ආර්ධද්වීපයේ සංචාරයේ නිරත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පලාලි ගුවන් තොටුපළේදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ඇතුළු නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.

එහිදි, ගුවන් හමුදා භටපිරිස් විසින් ඔවුන්ගේ ගෞරවාචාරය යාපනය ආර්ධද්වීපයේ සංචාරයේ නිරත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පුදකළහ. ඉන් අනතුරුව, උතුරු නාවික පෙදෙස භාර වැඩබලන ආඥාපති රියර් අද්මිරාල් ටී.එස්.කේ පෙරේරා සහ ගුවන් හමුදා කඳවුර - පලාලි අණදෙන නිළධාරී ගෲප් කපිතාන් රුවන් චන්දිම ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව භටපිරිස් ඇමතීම සඳහා කැටුව යන ලදී.

එහිදී, යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඇමතූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රථමයෙන් මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ ත්‍රිවිධ හමුදාවේ වීරෝදාර රණවිරුවන් කෘතඥතාපූර්වකව සිහිපත් කළ අතර එම මානුෂිය මෙහෙයුමේදී තුවාල ලබා ප්‍රතිකාර ලබන රණවිරුවන්ට නීරෝගී සුව ප්‍රාර්ථනා කරන ලදී.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අමතමින් ඔවුන් විසින් ඉටුකරනු ලබන විශිෂ්ඨ කාර්යභාරයන් පැසසුමට ලක්කළ යුද්ධ හමුදාධිපතිතුමන් එළඹෙන වසරේදීත් අභිමානවත් සංවිධානයක වෘත්තීයමය නිපුණත්වයෙන් හෙබි විරුවන් ලෙස අඛණ්ඩ කැපවීමෙන් කටයුතු කළයුතු බව පැවසීය.

“2021 වර්ෂය පුරාවටම කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ඔබ සියලුදෙනාම අපගේ සහෝදර හමුදාවන් සමඟ එක්ව ‘නොහැක්කක් නොමැත’ යන පාඨය සත්‍යයක් බව පෙන්නුම් කරමින් ජාතියේ අභිවෘද්ධිය උදෙසා තම ජීවිත අවදානම නොතකා ඉටුකළ කාර්යභාරය පිළිබඳ මා හොඳින් දනිමි. කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තියේ තීරණාත්මක අවධියේදී එම වෛරසය පාලනය කර හොඳ ප්‍රතිඵල රටට අත්කර දීම සඳහා යුද්ධ හමුදා ජංගම එන්නත්කරණ කණ්ඩායම විශාල කාර්යභාරයක් ඉටුකලා.” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් එහිදි අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

“එසේම, අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත තවත් එවැනිම අභියෝගාත්මක කාර්යයක් වන කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර වෘත්තීමය නිපුණත්වයෙන් හෙබි සොල්දාදුවන්ගෙන් සමන්විත අපට එම කාර්යභාරය භාරදී ඇත්තේ අපගේ හැකියාවන් සහ සුවිශේෂි කුසලතාවයන් මත දැඩි විශ්වාසයක් තබමිනි. අතිගරු ජනාධිපතිතුමන් විසින් හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලෙස මා පත්කර ඇත්තේ අප පිළිබඳ දැඩි විශ්වාසයක් තබමින් වන අතර මෙම නව අභියෝගාත්මක වගකීම සඳහා ඔබගේ දායකත්වය තුලින් හරිත රටක් බිහි කර අපේක්‍ෂිත අරමුණු මුදුන්පත් කරගැනීමට හැකිවන බව” යුද්ධ හමුදාධිපතිතුමන් තවදුරටත් පැවසීය.

වෘත්තීමය නිපුණත්වයෙන් හෙබි යුද්ධ හමුදාවක් වශයෙන් සියලු යුද්ධ හමුදා සාමාජිකයින් ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් කැපවී ක්‍රියාකිරීම පිළිබඳ ඇගයීමට ලක්කළ යුද්ධ හමුදාධිපතිතුමන් මත්ද්‍රව්‍ය උවදුර සහ වෙනත් සමාජ විරෝධී ක්‍රියාකාරකම් අපගේ මාතෘභූමියෙන් තුරන්කිරීමට ලබාදෙන සහයෝගය වෙනුවෙන් සෑම පාර්ශවයකින්ම ප්‍රශංසාව හිමිවන බව ද එහිදී වැඩිදුරටත් පැවසීය.

“අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති දුෂ්කර පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරිම පිළිබඳ අවධානය යොමුකරමින් පාසල් ගොඩනැගිලි, ක්‍රීඩා පිටි, පොදු ක්‍රීඩාංගණ, පොදු ස්ථාන, වැව් සහ පාලම් ආදී සංවර්ධනය ඉලක්ක කරගත් ව්‍යාපෘති අප විසින් ඉටුකිරීම වැදගත් වේ. එම ජාතික කර්තව්‍යයන් වෙනුවෙන් ඔබේ කැපවීම ඉදිරි වර්ෂයේදීත් එලෙසින්ම අපේක්‍ෂා කරමි. එහිදී, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් ලබාදුන් සහයෝගය ද පැසසුමට ලක්කල යුතුයි” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් පෙන්වා දුන්නේය.

තම ධූර කාලය තුළ යුද්ධ හමුදාවේ සියලු නිලයන් වෙනුවෙන් උසස්වීම් ලබාදීම පිළිබඳ අවධානය යොමු කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එළඹෙන නව වසරේදීත් යුද්ධ හමුදාවේ සියලුම නිලයන් වෙනුවෙන් තවදුරටත් උසස්වීම් ලබා දෙන බවට එහිදි සහතික විය.

“එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා අපගේ දායකත්වය හා කැපවූ කාර්යභාරය මෙන්ම අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමට ඔබ දක්වන කැපවීම වෙනුවෙන් ද ප්‍රශංසා කළ යුතුයි. එළඹෙන නව වසර වෙනුවෙන් මෙම හමුව සංවිධානය කිරීම පිළිබඳව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ඇතුළු ඒ වෙනුවෙන් කැපවී ක්‍රියාකළ සියලුදෙනාට මාගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමි. අවසාන වශයෙන්, නව වසර වෙනුවෙන් ඔබ සියලුදෙනා වෙත සහ ඔබගේ ආදරණීයන් වෙනුවෙන් මගේ සුභපැතුම් පිරිනමමි. අපගේ සන්නද්ධ හමුදා සාමාජිකයින් කෙරෙහි ජාතියේ ඉහළ ගෞරවයක් හිමිවි ඇති බැවින් එය තවදුරටත් වැඩිදියුණු කරගනිමින් රාජකාරි ඉටුකිරීමට හැකි වේවායි මා ප්‍රාර්ථනා කරමි.” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශනය අවසානයේ, යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ නාවික හා ගුවන් හමුදා නිලධාරින් දෙදෙනකු එක්ව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළහ. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් වෙත ද එහිදි සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.