Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th December 2021 16:15:37 Hours

එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි යටතේ දකුණු සුඩානයේ පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි රාජකාරි සඳහා 8 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටව යාමට සැරසෙති

දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්නාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත 8 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම අද (24) දින උදෑසන වේරහැර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සිය ගෞරවාචාරය පිරිනැමූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් තුසිත හෙට්ටිආරච්චි විසින් එම රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමූහ.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක සහ යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ක්‍රිශාන්ත ප්‍රනාන්දු විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සරඹ භූමිය වෙත කැටුව යන ලදී. පසුව, වර්ණවත් සම්මාන මුරයේ ගෞරවාචාය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමීය.

වෛද්‍ය විශේෂඥයින් 4 දෙනෙක් සහ නිලධාරින් 17 දෙනෙක් හා සෙසුනිලයින් 49 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 66 දෙනෙකුගෙන් සමන්විත දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 8 වන කණ්ඩායමට ලුතිතන් කර්නල් එන්.එම්. නිෆ්ලාර් අණදීම සිදුකරනු ලබන අතර මේජර් ඩී.වයි.එස්. කුමාර දෙවන අණදෙන නිලධාරි ලෙස කටයුතු කරයි.

මෙම කණ්ඩායම වාට්ටු භාරහෙදියන්, හෙදියන්, සත්කාර හෙදියන් (නාරිවේදය), ශල්‍යාගාර තාක්‍ෂණ ශිල්පීන්, භෞතික චිකිත්සකවේදීන් (DPM), විකිරණ (Xray) වේදීන්, විකිරණ (Xray) තාක්‍ෂණි ශිල්පීන්, දන්ත සහායකයන්, දන්ත කාර්මිකයන්, වෛද්‍ය සහයකින්, ෆාමසි කාර්මිකයන්, විද්‍යාගාර කාර්මිකයන්, විද්‍යාගාර තාක්‍ෂණ විද්‍යාඥයින්, සන්නිවේදන තාක්‍ෂණීක ශිල්පීන්, සනීපාරක්‍ෂක සහයකයන්, පරිපාලන ලිපිකරුවන්, සූපවේදීන්, ගිලන් රථ රියදුරන්, සනීපාරක්‍ෂක රාජකාරි නියුතු පුද්ගලයින් සහ මෘත ශරීරාගාර සහායකයන්ගෙන් සමන්විතය. එම පිරිසට ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සෙබළුන් 40 දෙනෙක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ සෙබළුන් 02 දෙනෙක්, ඉංජිනේරු සේවා බලකායේ සෙබළුන් 02 දෙනෙක්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සෙබළුන් 04 දෙනෙක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය නියෝජනය කරමින් එක් සෙබළෙකු ඇතුළත් වේ.

දවසේ උත්සවයේ වැදගත්කම සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් ජාතික ධජය, යුද්ධ හමුදා ධජය, එක්සත් ජාතීන්ගේ ධජය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා ධජය එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත භටපිරිස් වෙත භාරදෙනු ලැබීය.

සාම සාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් නික්මයෑමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සුභපැතුම් පිරිනමමින් රටට අභිමානයක් හා ගෞරවයක් එක්කරමින් ඔවුන්ගේ විදේශ රාජකාරිවල නිරතවීමේ වටිනාකම පිළිබඳ කරුණු පැහැදිලි කළේය. තවද, එතුමන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් විදෙස් රටක සේවය කිරිමේදී ඉහළම මට්ටමේ විනයක් පවත්වා ගැනීමේ වැදගත්කම සහ දකුණු සුඩානයේ කාර්යභාරය සඳහා ඔවුන්ගේ කැපවීම පිළිබඳව ද සිහිපත් කළේය.

මේ වනවිට දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා යොදවා සිටින 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම එක්සත් ජාතීන්ගේ විධිවිධානවලට අනුකූලව ඔවුන්ට පැවරු රාජකාරීන් සාර්ථකව නිමාකර ආපසු සිය රට බලා පැමිණීමට නියමිතව ඇත.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් විකුම් ලියනගේ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, අධ්‍යක්‍ෂවරුන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.

දකුණු සුඩානය තුළ සාමය ඇති කරමින් විවිධ ගැටුම් සහ ආරවුල් වලින් පීඩා විදින සිවිල් ජනතාව ආරක්‍ෂා කිරිමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් මධ්‍යස්ථානයේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතයෙකුගේ නායකත්වයෙන් යුතුව හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරින් සහ සිවිල් කාර්ය මණ්ඩලයන්ගෙන් සමන්විත ආරක්‍ෂක අංශ සාමාජිකයන් දහස් ගණනක් යොදවා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 2014 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකුණු සුඩාන මෙහෙයුම (UNMISS) යටතේ දකුණු සුඩානයේ බෝර් හි ප්‍රථම වරට ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායමක් රාජකාරි කරනු ලබන දෙවන මට්ටමේ රෝහල ස්ථාපිත කරන ලදී.