Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th July 2022 17:49:06 Hours

ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවෙයි

කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස රාජකාරි භාරගත් එක්සත් ජනපද යුද්ධ හමුදාවේ ලුතිනන් කර්නල් ඇන්තනි සී. නෙල්සන් (Anthony C. Nelson) අද (27) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

මෙම සුහද හමුවේදී, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් දෙරටෙහි සන්නද්ධ හමුදාවන් අතර පවතින සුහදත්වය, සහයෝගීතාවය හා අවබෝධය පිළිබඳ සිහිපත් කරන ලදී.

එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන් වෙතින් සිදුකරනු ලබන පුහුණු වැඩසටහන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ හැකියාව මෙන්ම අනෙකුත් හුවමාරු වැඩසටහන් ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන්විය.

මෙම සුහද හමුව සමාප්තියේ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් අමෙරිකානු තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක සහ අනෙකුත් නිලධාරීන් වෙත සමරු තිළිණ ප්‍රදානය කළ අතර, එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළහ.

මෙම සුහද හමුව සඳහා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක සෙත් නෙවින්ස් මහතා (Mr Seth Nevins) ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් සහ යුද සේවා ලේකම් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ද එක්වූහ.