Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st December 2022 19:55:23 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් භටපිරිස් සම්බන්ධීකරණයෙන් ප්‍රජාසත්කාරක වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ 593 වන බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් නයාරු ප්‍රදේශයේ ජීවත්වන සිවිල් ජනතාවගේ ආර්ථික දුෂ්කරතාවයන්ට සහනයක් ලබාදීමේ අරමුණින්, ‘සරණ’ පදනමේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව, වියළි සලාක ඇසුරුම් සහ උදළු තල ලබාදීමේ ප්‍රජාසත්කාරක වැඩසටහනක් නොවැම්බර් මස 28 දින කොහොඹගස් හන්දිය ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී සිදුකරනු ලැබීය.

එස් විජේවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් ‘සරණ’ පදනමේ මූලිකත්වයෙන් සිංගප්පූරුවේ වැඩ සිටින නාකුලගමුවේ සුමන හිමියන් මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන සඳහා මූල්‍යමය අනුග්‍රහය දක්වන ලදී. එහිදී ගැබිණි මාතාවන් 50 දෙනෙකු සඳහා රුපියල් 10,000.00 ක වටිනාකමකින් යුත් පෝෂණ මල්ලක් සමගින් වියළි ආහාර සලාක පාර්සල්, අඩු ආදායම්ලාභී පවුල් 200 ක් සඳහා රුපියල් 15,000.00 වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් සහ කෘෂි කර්මාන්තයේ නියුතු ගොවි ප්‍රජාව වෙත උදළු තල 50ක් බෙදාදෙනු ලැබූහ.

59 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ 593 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් කුලතිලකගේ ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහභාගී වූ මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන 5 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 19 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිළධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයන්හි භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් භටපිරිස් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව පූජ්‍ය නාකුලගමුවේ සුමන හිමියන් සහ ‘සරණ’ පදනම සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන සඳහාා මූල්‍යමය අනුග්‍රාහකත්වය දක්වන ලදී.

මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන සඳහා කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තිස්සපුත්ත හිමි, පූජ්‍ය හුරියගස්වැව සද්ධාවාස හිමි, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරී සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.