Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th January 2021 16:38:44 Hours

අයතා ලෙස මුදල් ලබාගන්නා තෙවන පාර්ශවකරුවන්ට ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන ලෙසත් අල්ලස්දීමෙන් වලකින ලෙසත් නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධව සිටින හෝටල්හිමියන්ට යුද්ධ හමුදාධිපති දැනුම්දෙයි

විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදී අයතා ලෙස මුදල් ලබාගන්නා තෙවන පාර්ශවකරුවන්ට ඒ සඳහා කිසිදු ඉඩක් නොතබන ලෙසත් අල්ලස්දීමෙන් වලකින ලෙසත් නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධව සිටින හෝටල්හිමියන්ට යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය. කොවිඩ්-19 වෛරසයේ දෙවන රැල්ල පැතීරයාමෙන් පසුව මෙවැනි ‘වංචනික’ ක්‍රියාවන් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම ක්‍රියාත්මක කළ බවත් නිරෝධායන ක්‍රියාවලිය ඉතා ඉහළ ප්‍රමිතියකින් හා විශ්වාසනීයව පවත්වාගෙන යාමට යුද්ධ හමුදාව කටයුතු කරන බැවින් ඒ සම්බන්ධයෙන් යුද්ධ හමුදාව ගොඩනගාගෙන ඇති ප්‍රතිරූපයට හානි කිරිමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය. මෙරටට පැමිණ හෝටල්වල නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් සාධාරණ මුදලකට ලබාදීම තම අරමුණ බවත් එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසිය. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම අදහස් දැක්වුයේ අඟහරුවාදා (12) දින කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී හෝටල් හිමිකරුවන් සහ හෝටල් විධායක නිලධාරීන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

එහිදි අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ පසුගිය මාර්තු මාසයේ අතිගරු ජනාධිපතිතුමන් දැනුම්දුන් පරිදි නිරෝධායන මධ්‍යස්ථාන ආරම්භ කිරීමෙන් පසුව රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ අනෙකුත් පාර්ශවකරුවන් නිරෝධායනට යොමුකිරීම සඳහා නොමිලේ සිය හෝටලය ලබාදුන් මීගමුව ඩොල්ෆින් හෝටලයේ කළමනාකාරීත්වයට විශේෂ ස්තූතිය පල කරන බවයි. එලෙස නොමිලේ සිය සහයෝගය ලබාදීමට සිට්රස් හෝටල් සමුහය ද එක්වු නමුත් ඩොල්ෆින් හෝටලය පමණක් ඒ සඳහා භාවිතා කළ අතර එවන් සහයෝගයක් දැක්වු සියලුදෙනාට සිය කෘතඥතාව පල කරන බවද යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය. දෙවන රැල්ල ආරම්භවීමත් සමඟ ජෙට්වින් සමුහය විසින් සිසුන් 44 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙනුවෙන් නිරෝධායන පහසුකම් සැපයීමට දැක්වු දායකත්වය ද යුද්ධ හමුදාධිපතිතුමන් සිහිපත් කළේය.

නිරෝධායන කටයුතු සඳහා විදෙස්වල සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදි ඇතැම් ‘වංචනික පුද්ගලයින් මුදල් ලබාගෙන තිබුණද එවැනි ක්‍රියාවන් සිදුවිමට ඇති ඉඩකඩ මේ වනවිට සම්පුර්ණයෙන්ම අවුරා තිබෙන බවත් යම් කිසිහෝ ආකාරයකින් එවැනි ක්‍රියාවක් සිදු වූවහොත් ඒ පිළිබඳ වහාම යුද්ධ හමුදාවේ අවධානයට යොමුකරන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

නිරෝධායනය සඳහා හෝටල් වෙත යොමු කරන පුද්ගලයින්ට සාධාරණ මිල ගණන් යටතේ ආහාරපාන සහ නවාතැන් සැපයීමට යුද්ධ හමුදාව කටයුතු කරන අතර ඊට කිසිදු පෞද්ගලික න්‍යාය පත්‍රයක් බල නොපාන බවත් නිරෝධායන කාලසීමාව සඳහා අය කරන ගාස්තූ තවදුරටත් පහත හෙළිමට හැකි නම් එය හොද තීරණයක් බවත් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළ අතර එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමන් ප්‍රකාශ කළේ තරු 5 හෝටල්වලට වඩා කුඩා ප්‍රමාණයේ හෝටල්වලට මේ සඳහා හැකියාව පවතින බවත්ය.

නිරෝධායන යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී ගුවන්තොටුපල විධිවිධාන, රාජ්‍ය හෝ ගෙවීම් නිරෝධායන කටයුතු, වෛද්‍ය කාර්ය මණ්ඩලය යොමුකිරීම, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ වෙනත් පහසුකම් සපයන්නන් අදාල ස්ථාන කරා යොමුකිරීමේ පහසුව සඳහා මත්තල සහ කටුනායක ගුවන් තොටුපලවල් දෙකට ආසන්නයේ මීගමුවේ සිට තිස්සමහාරාම දක්වා වෙරළ තීරයේ පිහිටි හෝටල් මේ සඳහා යොදාගෙන ඇති බවත් ආරම්භයේදී තෝරාගත් හෝටල් කිහිපයකට පමණක් පුද්ගලයින් යොමුකලද මේ වනවිට ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් යුද්ධ හමුදාධිපතිතුමන් අවධාරණය කළේය. ඒ මෙරටට පැමිණි දේශිය හා විදේශිය පුද්ගලයින් ප්‍රමාණය වැඩිවීමත් සමඟ ඔවුන් සියලුදෙනාට හොඳම සේවාව අවම මිළකට ලබාදීමේ අරමුණින් බවද යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

එසේම, හෝටල්වල නිරෝධායනයට පැමිණෙන අයවලුන්ට පහසුකම් සැපයීම සඳහා මුදල් හෝ වෙනත් ආකාරයක අල්ලස් ඉල්ලා සිටින තෙවන පාර්ශකරුවන් සිටිනම් ඒ පිළිබද දැනුවත් කිරීම සඳහා නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සක්‍රිය දායකත්වයක් ලබාදී සිටින යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුගේ දුරකථන අංක සහ ඔවුන්ගේ තොරතුරු ලබාදීමට යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි කටයුතු කළේය. එසේම, මෙවැනි වංචනික ක්‍රියාවලට යුද්ධ හමුදා මැදිහත්වීමක් තිබේනම් ඒ පිළිබඳව දැනුම්දෙන ලෙස ද යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

එසේම, යුද්ධ හමුදාධිපතිතුමන් අවසාන වශයෙන් ප්‍රකාශ කළේ කොවිඩ්-19 වෛරසය මෙරට ව්‍යාප්තවීමට පෙර මෙරටට විදේශ විනමය උපයාදීම වෙනුවෙන් දායකත්වය දැක්වු හෝටල් හිමියන් ද රටේ ආර්ථිකය වෙනුවෙන් වර්තමානයේදී ද අත්‍යාවශ්‍ය ප්‍රජාවක් ලෙස සලකන බවත් හෝටල් ප්‍රජාව මේ වනවිට දක්වනු ලබන දායකත්වය සෑම විටම අගය කරන බවත්ය. එසේම, තීරණත්මක මොහොතේදී සාධාරණ මිලකට උපරිම සේවයක් ලබාදීමට සෑම අවස්ථාවකම කටයුතු කරන ලෙස නිරෝධායන පහසුකම් සපයන හෝටල් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින බවද යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේය. affiliate tracking url | nike air max 95 obsidian university blue book list