Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st July 2022 09:27:52 Hours

අන්තර් රෙජිමේන්තු දැල්පන්දු කණ්ඩායම් ශූරතාව - 2022, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ‘ඒ’ කණ්ඩායමට

අන්තර් රෙජිමේන්තු දැල්පන්දු කණ්ඩායම් ශූරතාවලිය - 2022 අවසන් මහා තරගය බ්‍රහස්පතින්දා (30) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවත් වූ අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගි විය. මෙම තරඟාවලිය 2022 ජූනි මස 22 සිට 2022 ජූනි මස 30 දක්වා කණ්ඩායම් හතක සහභාගීත්වයෙන් පැවැත්විණි.

අවසන් මහා තරඟාවලිය නැරඹීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ යුද්ධ හමුදා දැල්පන්දු කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් සී.එස්.තිබ්බොටුගේ විසින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන පීඨීකාව වෙත කැටුව යනු ලැබීය. පසුව, අවසන් තරඟයේ තරඟකරුවන් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත හඳුන්වා දෙන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ‘ඒ’ කණ්ඩායම සහ ‘බී’ කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ අතර, එහිදී කණ්ඩායම් දෙක අතර පැවති ඉතා උණුසුම් තරඟයකින් පසුව 21/15 ක් ලෙස ලකුණු ලබාගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් අන්තර් රෙජිමේන්තු දැල්පන්දු කණ්ඩායම් ශූරතාව - 2022, ශූරතාවයට හිමිකම් කීමට සමත් වූහ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි ජානකි ලියනගේ මැතිණිය විසින් සමස්ථ තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ සියලුම අංශවල ක්‍රීඩිකාවන් වෙත කුසලාන ප්‍රදානය කරනු ලැබු අතර, එම ජයග්‍රාහී කණ්ඩායම් පහත පරිදි වේ.

ශූරතාවය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ‘ඒ’ කණ්ඩායම

අනුශූරතාව - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ‘බී’ කණ්ඩායම

දෙවන අනුශූරතාවය - ශ්‍රී ලංකා සංඥා බලකා කාන්තා කණ්ඩායම

අවසන් මහා තරඟාවලිය නැරඹීම සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත්යාපා, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ එම නිලධාරීන්ගේ භාර්යාවන් මෙන්ම සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ.