Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2022 22:45:47 Hours

අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කූරගල ඇසිදිසි සුගත මහා සෑයේ පූජා වස්තු තැන්පත් කෙරේ

කූරගල ඓතිහාසික පුදබිමෙහි පිහිටා ඇති ඇසිදිසි සුගත මහා සෑයේ පූජා වස්තු සහ පුරාවස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය ඉරිදා (16) දින සන්ධ්‍යාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සමඟින් ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණියගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි. බලංගොඩ හෝමෝ සේපියන්ස් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට පැවත එන කල්තොට, කූරගල ආරණ්‍ය සේනාසනයේ පුරාවිද්‍යා භූමිය සංරක්‍ෂණය කිරීමේ ව්‍යාපෘතිය අතිගරු ජනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැංවිණි.

මෙම පුණ්‍ය උත්සවයට සහභාගී වූ අතිගරු ජනාධිපතිතුමන් සහ අයෝමා රාජපක්‍ෂ මැතිණිය පිළිගැනීම සඳහා කූරගල විහාරස්ථානයේ හා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන් සමඟින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය එක්වූහ.

ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන පුරාවිද්‍යාත්මක ඉතිහාසකට උරුමකම් කියන භූමියක පිහිටා ඇති බෞද්ධ ආගමික ස්ථානයක් වන කූරගල ඇසිදිසි සුගත මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නාහිමිපාණන්ගේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා භටපිරිස් ප්‍රමුඛ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සහ බැතිමතුන්ගේ නොමසුරු දායකත්වය මත ක්‍රියාවට නැංවේ.

එවකට ආරක්‍ෂක ලේකම් ධූරය හෙබවූ වත්මන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ එවකට අතිගරු ජනාධිපති ලෙස කටයුතු කළ වත්මන් අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ සක්‍රීය දායකත්වය මත 2015 වර්ෂයට පෙර ආරම්භ කළ ‘යළි පිබිදෙන කූරගල’ (කූරගල පුනර්ජීවනය) තුලින් මෙම ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් විය.

මාස 8 ක වාර්තාගත කාලයක් තුළ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදුකළ මෙම පුදබිම තුල අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් පැය තුනකට ආසන්න කාලයක් රැඳී සිටිමින් සංවර්ධන කටයුතු සිදුකර ඇති ආකාරය පිළිබඳ සොයාබැලීය.

ප්‍රතිසංස්කරණය කළ විහාරස්ථානයේ දාගැබ වටා වැඩමවා වදාළ භික්‍ෂූන් වහන්සේලා විසින් සිදුකළ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්, ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය සහ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් විසින් රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාවන් චෛත්‍ය ගර්භයෙහි තැන්පත් කරන ලදී.

සෙල්ලිපි, ලෙන් මෙන්ම ඓතිහාසික නටඹුන් සහ ගැඹුරු කපොල්ලකින් සමන්විත පාෂාණමය කඳු බෑවුම් සහිත භූමියක් වන මෙම පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යුද්ධ හමුදා භටපිරිස් ප්‍රමුඛ 150 ක් පමණ පිරිසකගේ ශ්‍රම දායකත්වයෙන් මාස 8 ක කාලයක් තුල බොහෝ දුෂ්කරතා මධ්‍යයේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ඉතා සාර්ථකව සිදුකරන ලදී.

මෙම පුදබිමේ සිදුකෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන අතිගරු ජනාධිපතිතුමන්, එම විහාරස්ථානයේ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය පිළිබඳ ඇගයීමට ලක්කරමින් විහාරාධිපති හිමිපාණන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත්හ.

එහිදී, බුද්ධ ශාසන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරනු ලබන ගරු අග්‍රාමාත්‍යතුමා සමඟ එක්ව කූරගල ඇසිදිසි සුගත මහා සෑයේ පෞරාණික මහිමය තවදුරටත් පිළිබිඹු කරමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය කූරගල ආශ්‍රමයේ දී පැවැත්වීමට අතිගරු ජනාධිපතිතුමන් තීරණය කරනු ලැබීය. එමෙන්ම, මෙම පුදබිමේ සංවර්ධන කටයුතු සඳහා අවැසි සහයෝගය තවදුරටත් ලබාදීමට සහතික වූ අතිගරු ජනාධිපතිතුමන් එම විහාරස්ථානයේ අඩුපාඩු පිළිබඳව ද සොයාබැලීය.

මෙම පුණ්‍ය අවස්ථාවට සහභාගී වූ බැතිමතුන් හා මහජනතාව සමඟ අදහස් හුවමාරු කරගනිමින් අතිගරු ජනාධිපතිතුමන් කල්තොට - බලංගොඩ නව මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකර මෙම වසරේ වෙසක් උත්සවයට ප්‍රථම ජනසතු කරන බවට සහතික විය. එම අවස්ථාවේදීම, අතිගරු ජනාධිපතිතුමන් අදාළ ආයතන සමඟ එක්ව කිසිදු ප්‍රමාදයකින් තොරව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය වෙත සිය උපදෙස් ලබාදුන්නේය.

මෙම අවස්ථාව සඳහා සබරගමුව පළාත් ආණ්ඩුකාර ගරු ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමන්, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ, යුද්ධ හමුදා මුලස්ථානයේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහ 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

මෙම පෞරාණික පුදබිම තුළ ආරාමයක්, සර්වඥ ධාතු මන්දිරයක්, විශාල බුද්ධ ප්‍රතිමාවක් සහ බෝධි මළුවක් ඉදිකිරීමට නියමිතව ඇති අතර, අඩි 500 ක් උසැති පියගැටපෙළක් සහ ‘කූරගල වැව’ නම් ජලාශයක් ද ඉදිකිරීමට නියමිතව ඇත.

අතිගරු ජනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙතින් 2013 වර්ෂයේදී මෙම පුරාවිද්‍යා භූමියෙහි ගල් ලෙන්වල ඇති සෙල්ලිපි සියල්ල සොයා ‘යළි පිබිදෙන කූරගල’ තේමාව යටතේ මෙම පුදබිමේ කැණීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදී. යුද්ධ හමුදා භටපිරිස්හී නොමද සහයෝගය සහ නොපසුබස්නා කැපවීම මල්පලගන්වමින් මෙම පුදබිම 2021 පෙබරවාරි මස සඟසතු කර පූජා කරනු ලැබීය.