Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st January 2022 00:57:54 Hours

අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කතරගම පුදබිමේදී රටට සෙත්පතා ආශිර්වාද පූජාවක්

උදාවන 2022 නව වසරටත් රටටත් ආශිර්වාද එක්කිරීමේ ආශිර්වාද පූජාවක් ඓතිහාසික කතරගම පුදබිමේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (31) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.

එම අවස්ථාවට ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් සමඟින් එම මැතිණිය, අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්‍ෂ මැතිතුමන්, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමගින් එම මැතිණිය, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් සමගින් එම මැතිණියන්, පොලිස්පති ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

ප්‍රථමයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්හ. ඉන් අනතුරුව, හස්තිරාජයෙකු පෙරටු කරගත් වර්ණවත් පෙරහැරකින් මෙම උතුම් ආශිර්වාද පූජාවේ ආරම්භය සනිටුහන් කෙරිණි.

මහා සංඝරත්නය විසින් සිදුකල ආගමික වතාවත්වලට සහ පුද පූජාවලට සහභාගි වූ අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු පිරිස කිරිවෙහෙර චෛත්‍යය රාජ්‍යාණන් වහන්සේ වැඳපුදා ආශිර්වාද ලබාගත්හ. එහිදී ආශිර්වාද එක්කිරීමේ කප්රුක්‌ පූජාවක්‌ සහ ඔසුපැන් පූජාවක්‌ මෙන්ම සෙත්පිරිත් සජ්ඣායනයක්‌ ද පැවැත්විණි. පසුව, විහාරාධිපති හිමිපාණන් විසින් විශේෂ අනුශාසනාවක් ද සිදුකළහ. ඉන් අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන් කතරගම පුදබිමේ සිදුකල සංචාරය සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

කතරගම මහා දේවාල පරිශ‍්‍රය වෙත සපැමිණි අතිගරු ජනාධිපතිතුමන් අෂ්ටපල බෝධින් වහන්සේ උදෙසා පවත්වනු ලැබු බෝධි පූජා පිංකමකට ද එක් වූ අතර කතරගම මහා දේවාලය වැඳපුදා ආශිර්වාද ලබාගත්හ.

මෙම වැඩසටහනට තවත් වැදගත්කමක් එක් කරමින් සාමණේර භික්‍ෂුන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතුවල අභිවෘද්ධිය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවකට ද අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහභාගි වුහ. රුපියල් 10,000 ක වටිනාකමින් යුත් මෙලෙස ප්‍රදානය කළ සෑම ශිෂ්‍යත්වයක් සඳහාම කතරගම දේවාල අරමුදලට බැතිමතුන් ලබාදුන් පරිත්‍යාගයෙන් මගින් අනුග්‍රහකත්වය හිමිවිය. ඉන් අනතුරුව වාර්ෂිකව පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනාව එම පරිශ්‍රයේදී ආරම්භ විය.