Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th August 2021 16:14:18 Hours

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ස්ථාපනය කල වාට්ටු සංකීර්ණය දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ බලධාරින් වෙත භාරදෙයි

දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ දැනට පවතින වාට්ටු ප්‍රමාණය වැඩිකිරීමේ අරමුණින් සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශයන්ට අනුව යුද්ධ හමුදා භටපිරිස්වල ශ්‍රමදායකත්වයෙන් එම රෝහලේ මහල් අටකින් සමන්විත ගොඩනැගිල්ලේ තවත් වාට්ටු තුනක් ස්ථාපනය කරන ලදී.

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් කඩිනමින් සිදුකරනු ලැබු මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් පූර්ණ අනුග්‍රාහකත්වය ලබාදුන්නේය.

යුද්ධ හමුදා භටපිරිස් විසින් ස්ථාපිත කල ඇඳන් 250 කින් සමන්විත නව වාට්ටු තුන කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම උදෙසා මුලිකත්වය ගෙන කටයුතු කල යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ගරු සුජිවා නෙල්සන් මැතිණිය විසින් බ්‍රහස්පතින්දා (26) දින උදෑසන දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ බලධාරින් වෙත භාරදුන්හ.

රෝහල් සංකීර්ණයේ නව වට්ටු කිහිපයක් ස්ථාපනය කරන ලෙස අතිගරු ජනාධිපතිතුමන් විසින් උපදෙස් ලබාදුන් විගස යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාව එක් දිනක් තුළ සුවිශේෂි කැපකිරීමක් සිදුකරමින් රෝගින්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා සුදුසු ඇඳන් 150 ක් ප්‍රථම අදියර යටතේ නිෂ්පාදනය කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ඉතිරි ඇඳන් 100 ඉදිරි පැය 48 තුළදී ලබාදීමට කටයුතු කරන බව යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ප්‍රියන්ත වීරසිංහ පැවසීය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් නව වාට්ටු සංකීර්ණ සඳහා අවශ්‍ය මෙට්ට 250 ක්, ඇඳ ඇතිරිලි 300 ක්, කොට්ට 300 ක්, කොට්ට උර 300 ක්, කබඩ් සහ වාට්ටු සංකීර්ණය සඳහා අවශ්‍ය අනෙකුත් ගෘහ භාණ්ඩ ලබාදුන් අතර නව වාට්ටු සංකීර්ණය කුඩා දරුවන් සඳහා හදිසි ප්‍රතිකාර සිදුකිරීමේ අංශයක් සහ වෙන්කල ස්ථානයකින් ද සමන්විත වේ.

කොවිඩ් -19 වෛරසය ආසාදිත රෝගීන් දිනෙන් දින වැඩිවීමත් සමඟ දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ නව වාට්ටු සංකීර්ණයක් ස්ථාපිත කර රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීමේ ධාරිතාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් දියත් කරනු ලැබු මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රමුඛත්වයක් මත යුද්ධ හමුදාව විසින් සහයෝගය ලබාදුන්හ.

දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය සාගරි කිරිවන්දෙනිය, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජිව සෙනරත් යාපා, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න සහ දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ලසිත් මලලසේකර විසින් එම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ගරු සුජිවා නෙල්සන් මැතිණිය පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සියලුදෙනා රෝහල් පරිශ්‍රයේ නවතමයෙන් ස්ථාපනය කරන ලද වාට්ටු සංකීර්ණ නිරික්‍ෂණය කරන ලදී.

යුද්ධ හමුදා භටපිරිස් විසින් ස්ථාපනය කරන ලද නව වට්ටු සංකීර්ණ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සුජීවා නෙල්සන් මැතිණිය විසින් රෝහල් අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය සාගරි කිරිවන්දෙනිය වෙත භාරදීම සනිටුහන් කරමින් වාට්ටු සංකීර්ණ සඳහා අවශ්‍ය අත්‍යවශය ද්‍රව්‍ය කිහිපයක් මෙහිදි භාරදුන්හ.

එම අවස්ථාවට එක්වූ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය ශාන්තිනී ගනේෂන්, වෛද්‍ය රුවන්ති පෙරේරා හා වෛද්‍ය ශිරාන් ප්‍රනාන්දු ඇතුළු වෛද්‍ය චූලා සෙනරත්, වෛද්‍ය මුදිත පලියගුරු, වෛද්‍ය දමිත් පියදිගම සහ වෛද්‍ය සඳරුවන් යන ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරින් සහ රෝහලේ ප්‍රධාන පාලිකා රසිකා ප්‍රියදර්ශනි මහත්මිය සමගින් රෝහලේ අවශ්‍යතාවයන් සහ අනෙකුත් කටයුතු පිළිබඳ සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් රෝහලේ කටයුතු සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක හමුදාවේ උපරිම සහයෝගය ලබාදෙන බවට මෙහිදි පැවසීය.

ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සුජිව සෙනරත් යාපා, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධිකාරක බ්‍රිගේඩියර් තුෂාර බාලසුරිය, ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත සියලුම බලසේනාවල බලසේනාධිපතිවරුන්, 14 වන සේනාංකය යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව හා සියලුම භඨකාර්ය සම්පාදන ඒකකයන්වල අණදෙන නිලධාරින් දැඩි පරිශ්‍රමයක් යොදමින් ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර, 14 වන සේනාංක මුලස්ථානය සහ ඒ යටතේ ස්ථාපිත භඨකාර්ය සම්පාදන ඒකකයන්වල භටපිරිස් සමඟ එක්ව රෝහල් පරිශ්‍රයේ නව වාට්ටු තුන ස්ථාපනය කිරීමේ අභියෝගාත්මක කාර්යභාර්ය කාර්යක්‍ෂමව හා කැපවීමෙන් යුතුව ඉටුකරන ලදී.

දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ ස්ථාපනය කල නව වාට්ටු සඳහා අවශ්‍ය උපකරණ සහ අනෙකුත් අවශ්‍යතාවයන් සම්පාදනය කිරිමේ කාර්යභාරය සාර්ථක කරගැනීම උදෙසා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ගරු සුජිවා නෙල්සන් මැතිණිය ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි කැපකිරීමකින් යුතුව වෙහෙස නොබලා කටයුතු කළේය.

දෛනිකව වැඩිවෙමින් පවතින කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා රෝහල් වාට්ටු, අතහැර දැමු කර්මාන්තශාලා ගොඩනැගිලි සහ භාවිතයට නොගත් රාජ්‍ය ගොඩනැගිලි යොදාගනිමින් කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදෙන උපදෙස් මත වාට්ටු සංකීර්ණ හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට පසුගිය කාලසීමාව තුල යුහුසුළුව යුද්ධ හමුදාව කටයුතු කරන ලදී.