Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th November 2022 21:07:38 Hours

65 වන සේනාංකයේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙත නව නිවසක්

මඩු ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත සිවිල් වැසියන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ අරමුණින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහගේ මඟපෙන්වීම හා වන්නි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් නිවාස අවශ්‍යතා සහිත දෙදරු මවක් වෙත නව නිවසක් ඉදිකරදෙන ලදී.

මඩු, පෙරියපණ්ඩිවිරිච්චාන් ප්‍රදේශයේ වෙසෙන මෙම පවුලේ සාමාජිකයන් අත්විඳින නොයෙකුත් දුෂ්කරතාවයන් පිළිබඳ දැනුවත්වීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව නිවාසලාභී රාසු කාලිඅම්මා මහත්මිය ඇතුළු එම පවුලේ සාමාජිකයින් වෙත නව නිවසක් ඉදිකරදීමේ ව්‍යාපෘතිය 2022 සැප්තැම්බර් මස 9 දින ආරම්භ කරන ලදී.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ සහ 653 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නාමල් සේරසිංහ ගේ උපදෙස් හා 24 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්.ඩී.ඒ. උදයකුමාරගේ අධීක්‍ෂණය මත මෙම නව නිවස ඉදිකිරීමේ කටයුතු සිදුකරනු ලැබීය. ඒ අනුව, 24 වන ගජබා රෙජිමේන්තුවේ නිපුණත්වයෙන් යුත් භටපිරිස්හී විශේෂඥ දැනුම සහ ශ්‍රම දායකත්වය මත මාස 3 කට අඩු කාලසීමාවක් තුළ නව නිවසේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් නිමකරනු ලැබූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (17) දින පැවති මෙම නව නිවස විවෘත කිරීමේ උත්සවය සඳහා 653 වන බලසේනාවේ බලසේනාධිපති, එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 24 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූ අතර එහිදී, සමරු ඵලකය නිරාවරණය කර නව නිවස විවෘත කරනු ලැබීය. නිවාසලාභී පවුලේ ඥාතීන් සහ ගම්වාසීන් පිරිසකගේ සහභාගීත්වයෙන් හින්දු ආගමික වතාවත්වලට අනුකූලව නව නිවස සංකේතාත්මකව නිවාසලාභීන් වෙත පවරාදෙන ලදී.