17th November 2023 23:58:00 Hours
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ගේ මඟපෙන්වීම මත අම්පාර සහ නැඟෙනහිර ප්‍රදේශයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරීන් හා සෙසුනිලයන් සහ මාධ්‍ය ප්‍රජාව අතර අවබෝධය, සහයෝගීතාව සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘යුද්ධ හමුදාව සහ සිවිල් සමාජයට මාධ්‍යයේ ධනාත්මක සහ සෘණාත්මක බලපෑම’ තේමාව ඔස්සේ සම්මන්ත්‍රණයක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංක මූලස්ථානයේදී නොවැම්බර් මස 11 සිට 13 දින දක්වා පැවැත්විණි.
මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 30 කට අධික පළපුරුද්දක් සහිත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ මහතාගේ මූලිකත්වයෙන් පැවති මෙම අධ්‍යාපනික සම්මන්ත්‍රණය සඳහා නැගෙනහිර ප්‍රදේශයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදීන් මෙන්ම 24 පාබල සේනාංකයේ නිලධාරීන් 25 කට අධික පිරිසක් එක්ව සිටියහ.
මාධ්‍ය ආචාර ධර්ම, වාර්තාකරණය, නිරවද්‍ය තොරතුරු, විශ්වාසනීයත්වය, වගකීම්, සිවිල්- හමුදා සබඳතා, රටේ ආරක්‍ෂාවේ වැදගත්කම මෙන්ම ජනවාර්ගික පක්‍ෂග්‍රාහීත්වයෙන් තොරව තොරතුරු සම්ප්‍රේෂණය කිරීම, ජනවාර්ගික අභිමතයන්, සමාජ ආචාර ධර්මවලට අනුකූලව සාධාරණ වාර්තාකරණය, සාවද්‍ය මාධ්‍ය වාර්තාවල ප්‍රතිවිපාක, අතිශයෝක්තිය, පෞද්ගලිකත්වය, තරුණ පරම්පරාව සම්බන්ධයෙන් සංහිඳියා අභිනයන් ප්‍රවර්ධනය කිරීමේ ප්‍රමුඛතාවය සහ අවශ්‍යතාවය, ඩිජිටල්කරණය වූ සමාජ මාධ්‍ය ප්‍රවණතා, ආරක්‍ෂක මෙහෙයුම් අවශ්‍යතා පිළිබඳ අවබෝධය, හමුදා - සිවිල් නිලධාරීන්ගේ සාමූහික ජාතිය ගොඩනැගීමේ උත්සාහයන්, ද්වේෂ සහගත තත්ත්වයන් නිසා සිදුවන හානි, සාහසික සහ අපරාධ වාර්තාකරණය, මාධ්‍යයේ මූලික වගකීම, සිවිල් ප්‍රජාවගේ යහපත උදෙසා ආරක්‍ෂක හමුදා නිලධාරීන්ගේ කාර්යභාරය සහ කර්තව්‍යයන් පිළිබඳ පුළුල් අවබෝධයක් මෙම සම්මන්ත්‍රණයේදී ලබාදෙනු ලැබීය.
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ආරම්භක දේශනය සිදුකරමින් සම්මන්ත්‍රණයේ විෂය පථය පිළිබඳ දැනුවත් කරනු ලැබීය. සැසිවාරය සමාප්තියේදී, සහභාගී වූ සියලුම මාධ්‍යවේදීන් වෙනුවෙන් සේනාංකාධිපතිතුමන් සහ කථිකාචාර්යතුමන්ගේ සුරතින් සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.
24 පාබල සේනාංකයේ සියලු නිලධාරීන් සහ සෙසුනිලයන් වෙනුවෙන් එම මූලස්ථානයේදී සිසිර විජේසිංහ මහතා විසින් පවත්වනු ලැබූ තවත් සැසියකදී මාධ්‍ය සහ එහි වත්මන් ක්‍රියාකාරිත්වය, වටිනාකම් සහ ආචාර ධර්ම, හමුදාවට සහ ආරක්‍ෂවට මධ්‍යයේ බලපෑම, මාධ්‍යයේ වැදගත්කම, එහි ධනාත්මක, ඍණාත්මක සහ සමාජ විරෝධී ප්‍රවේශයන්, හමුදාවේ වගකීම්, හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ භූමිකාව, ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කාර්යභාරය, යුද්ධ හමුදා වෙබ් අඩවිය, නිල යුද්ධ හමුදා මුහුණු පොත සහ සමාජ ජාලා ආදීය පිළිබඳව ද දැනුවත් කෙරිණි.