16th December 2023 07:22:22 Hours
2024 පාසල් වර්ෂය සඳහා වැලිකන්ද සිංහපුර කනිෂ්ඨ විද්‍යාලයේ සහ සුසිරිගම ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 323 දෙනෙකු සඳහා පාසල් උපකරණ සහ පොත් ලබාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 12) දින 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යුඑස්පී පිඑස්සී ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබීය.
23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් පිරිසකගේ අනුග්‍රාහකත්වයෙන් සිංහපුර කනිෂ්ඨ විද්‍යාලයේ ළමුන් 190 දෙනෙකුට සහ සුසිරිගම ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 133 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ පොත් පරිත්‍යාග කරනු ලැබූහ.
එතුමන්, විසින් එම පාසල් උපකරණ වලට අමතරව ලිපි ද්‍රව්‍ය ඇතුළු විශේෂ උපකරණ ඇසුරුම් ද පරිත්‍යාග කරන ලදී. උත්සව අවස්ථාවේදී එම පාසල් හි දරුදැරියන් ඉදිරිපත් කරනු ලැබූ සංස්කෘතික නැටුම් අංගයන් මඟින් උත්සව අවස්ථාව වඩාත් අලංකාරවත් වූහ. එහිදී 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ ප්‍රතිලාභී පාසල් ළමුන් සමඟින් ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතු පිළිබඳව සුහදව අදහස් හුවමාරු කරගත්හ.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 233 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.කේ.සී.එස් ද සිල්වා ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් මෙම උත්සව සංවිධානය කරන ලදී. එම අවස්ථාවට 233 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, යුද්ධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ද සහභාගී වූහ.