Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2022 15:57:37 Hours

211 වන බලසේනාවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 211 වන බලසේනාවේ මූලිකත්වයෙන් මැදවච්චිය ළිඳවැව සහ කපිරික්ගම ප්‍රදේශයේ වෙසෙන ගොවි ජනතාව සහ අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාව අත්විඳින දුෂ්කරතා මඟහැරවීමේ අරමුණින් තෝරාගත් ප්‍රතිලාභින් පිරිසක් වෙත වියළි ආහාර සලාක පාර්සල් 200 ක් සහ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කරන උදළු තල 50 ක් බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (26) දින ක්‍රියාත්මක කරන ලදී.

මෙම සමාජ සත්කාරක වැඩසටහන 211 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද විජයරත්න ගේ මූලිකත්වයෙන් කපිරික්ගම ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

211 වන බලසේනාව මගින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව සිංගප්පූරුවේ වෙසෙන බෞද්ධ හිමිනමක් වන පූජ්‍ය සුමන හිමිපාණන් සහ කඩවත ‘සරණ’ පදනමේ සභාපති සුනිල් විජයවර්ධන මහත්මිය විසින් මේ සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය දැක්වූහ.

මෙම වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් 2 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, 14 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දෙවන අණදෙන නිලධාරිතුමන්, 211 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී සහ 211 වන බලසේනාවේ භටපිරිස් සිය නොමසුරු දායකත්වය ලබාදුන්හ.