Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd January 2020 14:45:36 Hours

21 වන සේනාංකය සහ 211 වන බලසේනාව එක්ව 31 රාත්‍රියේදී වන්නි ප්‍රදේශයේ මහජනතාව විනෝදාස්වාදට පත් කරයි

2020 නව වර්ෂය උදාවීම සියලු ශ්‍රී ලාංකිකයින්ට විනෝදාත්මක කාල පරිච්ඡේදයක් උදාකර දුන් අතර රට පුරා නව බලාපොරොත්තු යළි පණ ගැන්වුණි. 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර් ජයපතිරණගේ ආශිර්වාදය ඇතිව 211 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලාල් විජේතුංග ගේ උපදෙස් පරිදි වර්ෂ 2019 දෙසැම්බර් මස 31 දින 211 වන බලසේනාවේ භටපිරිස් විසින් එම බලසේනා බලප්‍රදේශයේ රාජකාරි නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් ජනතාව වෙත විනෝදාස්වාදයක් ලබාදීමේ අරමුණින් සංගීත ප්‍රසංගයක් පවත්වන ලදී.

වන්නි ප්‍රදේශයේ වෙසෙන සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව අතර ප්‍රතිසන්ධාන හා ජනවාර්ගික සමගිය ශක්තිමත් කිරීමේ තවත් එක් පියවරක් වශයෙන් මෙම දැවැන්ත සංගීත රාත්‍රිය සංවිධානය කරනු ලැබීය.

මැදවච්චිය වෙළඳ සංවිධානයේ අනුග්‍රහය ඇතිව මැදවච්චිය ‘සීපී ක්‍රීඩාංගණයේදී’ පවත්වනු ලැබූ මෙම සංගීත ප්‍රසංගයට රැස්ව සිටි සියළු නරඹන්නන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් ජනප්‍රිය කලාකරුවන් රැසක් ප්‍රසංගයේ වේදිකාව වෙත පැමිණියහ.

අනුරාධපුර, වවුනියාව, මැදවච්චිය සහ ඒ අවට ප්‍රදේශවල සිවිල් වැසියන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසකට ගාස්තුවක් අය නොකර මෙම ප්‍රසංගයට සහභාගී වීමට ඉඩකඩ සලසා තිබූ අතර එදින රාත්‍රිය පුරාවටම ඔවුන් මෙම ප්‍රසංගයේදී විනෝද විය.

මෙම සංගීත රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි සහභාගී විය.

මෙම ප්‍රසංගය සඳහා 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සුභාෂන වැලිකල සමඟ 211 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලාල් විජේතුංග, 212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස්, 213 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රසික කුමාර, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් මෙන්ම අනුරාධපුර, මැදවච්චිය සහ වව්නියාව ප්‍රදේශවල පොලිස් ස්ථානයන්හී පොලිස් නිලධාරින් මෙන්ම සෙසු නිලයින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී විය. Sports brands | Air Jordan