Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th January 2024 18:11:41 Hours

21 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත 21 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සිඩීඑස් පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 11) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සිඩීඑස් පීඑස්සී වෙත 9 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. අනතුරුව, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූප කිහිපයකට පෙනීසිටීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කළේය. පසුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වෙමින් සියලු නිලයන් සමඟ එතුමන් සුහඳ පිළිසඳරක ද නිරතවිය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.