Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd January 2022 09:00:01 Hours

2022 යල කන්නය සඳහා කාබනික පොහොර භාවිතය පිළිබඳ හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී සම්බන්ධීකරණ සාකච්ඡාවක්

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ‘යල කන්නය - 2022’ සඳහා දීපව්‍යාප්ත කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මුලිකත්වය ගෙන කටයුතු කිරීමට පසුගියදා රාජගිරිය ප්‍රදේශයේ ආරම්භ කරන ලද හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අදාළ රාජ්‍ය ආයතන හා අනෙකුත් සියලුම පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් බදාදා (19) දින පස්වරුවේ තවත් සම්බන්ධීකරණ සාකච්ඡාවක් පැවැත්විණි.

හරිත කෘෂිකාර්මික කටයුතු හා සබැඳි යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කාර්යභාරය ක්‍රියාවට නැංවු හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා හරිත කෘෂිකර්මය සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාරින්, දිවයින පුරා සිටින කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ප්‍රවීණයන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරින් ඇතුළු ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් රැසක් සහභාගි වූහ.

කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය එස්.එච්.එස්. අජන්තා ද සිල්වා, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් එල්.එච්.එම්.එල්. අබේරත්න මහතා සහ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් මුලසුන හෙබවු මෙම සාකච්ඡාවේදී පැමිණ සිටි සියලුදෙනාට මෙම සාකච්ඡාවේ අරමුණ පැහැදිලි කළේය.

ඉන් අනතුරුව, තවදුරටත් මෙම සාකච්ඡාව අමතමින් “2022 යල කන්නය සඳහා ඉදිරි සැලැස්ම” (Road Map to the Yala Season 2022) වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා යුද්ධ හමුදාව සතු පහසුකම් ප්‍රයෝජනයට ගැනීම පිළිබඳ පැහැදිලි කළ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ලබන සියලුම ආයතනවල සහයෝගය ලබාගනිමින් යල කන්නයේ වගා කටයුතු ඵලදායීව සිදුකිරීමට ඇති හැකියාව පිළිබඳව ද පෙන්වා දුන්නේය.

“අප දැනටමත් සියලුම රාජ්‍ය සහ අනෙකුත් ආයතන සමඟ සාකච්ඡා කර 2022 යල කන්නයේ වගා කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සහ ඉන් ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සැලසුම් සකස් කර ඇති අතර ඒ පිළිබඳ අතිගරු ජනාධිපතිතුමන් ද දැනුවත් කර ඇත. ඒ අනුව, 2022 යල කන්නයේදී අප වගාකරනු ලබන සම්පූර්ණ බිම් ප්‍රමාණය, ඒ සඳහා අවශ්‍ය ජෛව සහ කාබනික පොහොර ප්‍රමාණය සහ එම කටයුතු සඳහා කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධ කරගැනීම වැනි කරුණු පිළිබඳව වැඩිදුරටත් අවධානය යොමුකරන ලදී. කෙසේ වෙතත්, අදාළ ආයතන හා අනෙකුත් පාර්ශවකරුවන් විසින් අවශ්‍ය ප්‍රමාණයට අනුව පොහොර තොග නිෂ්පාදනය කරනු ලැබූවත් එම පොහොර තොග තාක්‍ෂණික විශේෂඥයින් යටතේ තත්ත්ව පරික්‍ෂාවක් සිදුකරනු ලබන බැවින් අදාළ ආයතනයන් එම පොහොර තොග නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වගකීම භාරගත යුතුය. මෙම කාබනික පොහොර සැපයුම්කරුවන් දිස්ත්‍රික්ක අනුව වෙන්කළ යුතුයි. එවිට එක් සැපයුම්කරුවෙකු යටතේ රටට පොහොර තොග ලබාගනිමින් තවත් ඒකාධිකාරයකට ඉඩ නොදී පොහොර තොග බෙදාහැරීමට රාජ්‍ය ආයතන සඳහා පහසුවනු ඇති බව” ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී පෙන්වා දුන්නේය.

“මෙම හරිත කෘෂිකාර්මික ව්‍යාපෘතියේ සියලුම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කටයුතු 1 වන බලකායේ බලකාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලබයි. විශේෂයෙන්ම එහිදී, කිසිවෙකුටත් බලපෑමක් සිදුනොවනු ඇති අතර කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේ නිසි සම්බන්ධීකරණය සඳහා පමණක් එම අධීක්‍ෂණ කටයුතු සිදු වේ. යුද්ධ හමුදාව විසින් ගොවීන්, කෘෂිකර්ම අංශයේ නිලධාරීන් සහ අදාළ අනෙකුත් ආයතනවල සම්බන්ධීකරණ කටයුතු පමණක් සිදුකරනු ලබන” බවත් එතුමන් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව, කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය එස්.එච්.එස් අජන්ත ද සිල්වා මහතා විසින් 2022 යල කන්නයේ වී වගාව සඳහා වන නව මාර්ගෝපදේශ පිළිබඳව විස්තර කරන ලදී. තවද, මානව සම්පත ඇතුළුව අදාළ සියලු අංශයන්හී සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම සබැඳිව එතුමන් යුද්ධ හමුදාවට සිය ස්තූතිය පුදකළේය.

එමෙන්ම, මාස 4, මාස 3 සහ මාස ½ යන කාණ්ඩ යටතේ වී සඳහා නිර්දේශිත පෝෂක අන්තර්ගතයන් පිළිබඳ පැහැදිලි කළ එතුමන් හරිත කෘෂිකර්මාන්තය සඳහා වන රාජ්‍ය යාන්ත්‍රණය හරහා පොහොර බෙදාහැරීම, උපදෙස් ලබාදීම, අදාළ කටයුතු සම්බන්ධීකරණය සහ ඒ සඳහා තාක්‍ෂණික සහයෝගය ලබාදීමේ වැදගත්කම පිළිබඳව ද එතුමන් අවධාරණය කළේය.

ඉන් අනතුරුව, කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේ නියුතුව සිටින දිවයින පුරා වෙසෙන අනෙකුත් සියලුම පාර්ශවකරුවන් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ (meeting via Zoom) මෙම සාකච්ඡාව සඳහා එක්වූ අතර එහිදී ඔවුන්ගේ අදහස් සහ යෝජනාවන් ද ඉදිරිපත් කරන ලදී.

මෙම සාකච්ඡාව සඳහා අදාළ පාර්ශවකරුවන්, ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ සහ තවත් යුද්ධ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු එක්වූහ.