Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2022 15:53:56 Hours

16 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් වෙලේවැව සුමේධ විද්‍යාලයේ පුස්තකාල පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කරයි

කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ උපාධි අපේක්‍ෂකයින්ගේ තවත් සමාජ ව්‍යාපෘතියක් වන ‘දායාද - සරසවියෙන් ගුරු ගෙදරට’ යන සමාජ සත්කාරක වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව, වෙලේවැව ප්‍රදේශයේ පිහිටි සුමේධ විද්‍යාලයේ ඉතා අබලන් තත්ත්වයේ පැවති පුස්තකාල පරිශ්‍රය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද අතර, ඒ වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනාවට අනුයුක්ත 16 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සිය ශ්‍රම දායකත්වය ලබා දී තිබුණි.

එම විද්‍යාලයේ දීර්ඝකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම පුස්තකාල ගොඩනැගිලි පරිශ්‍රය සම්පූර්ණයෙන් අළුත්වැඩියා කිරීමෙන් අනතුරුව භටපිරිස් විසින් පසුගිය සඳුදා (28) දින පාසලේ පරිපාලනයට සහ සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් භාරදෙනු ලැබීය.

මෙලෙස ප්‍රතිසංස්කරණය කරන ලද නව පුස්තකාල ගොඩනැගිල්ලේ යතුර විද්‍යාලයීය ගුරු මණ්ඩලය වෙත නිල වශයෙන් භාරදීම 143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ෆවුමි කිචිලන් ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් විසින් සිදුකරන ලදී.

අදාළ පාසලේ බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොෂාන් ජයමාන්න ගේ උපදෙස් මත 143 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ෆවුමි කිචිලන් සහ 16 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ මෙම පුස්තකාල ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු 2022 නොවැම්බර් මස 18 දින ආරම්භ කර තිබිණි.

16 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සහ 143 පාබල බලසේනාවේ භටපිරිස්වල ශ්‍රම දායකත්වයෙන් සහ තාක්‍ෂණික දැනුම උපයෝගිකරගනිමින් ආරම්භ කරනු ලැබු මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සති දෙකකට නොවැඩි කාලයකදී සම්පූර්ණ වශයෙන් නිම කිරීමට යුද්ධ හමුදා භටපිරිස් සමත් විය.

ප්‍රතිසංස්කරණය කරන ලද පුස්තකාලය සඳහා මුල්‍ය ආධාර කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අවසන් වසරේ උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ‘දායාද-සරසවියෙන් ගුරු ගෙදරට සමාජ ව්‍යාපෘතිය’ මගින් ලබාදී ඇති අතර, පුස්තකාලය සඳහා නව පොත් දහසක් (1000) ලබාදීමද මෙම අවස්ථාවේදී සිදුවිය.

පුස්තකාලය නිල වශයෙන් භාරදීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයින් ලෙස 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ෆවුමි කිචිලන් විශ්වවිද්‍යාල අනුග්‍රාහක නියෝජිතයන් සමඟ සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අවසන් වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ ආණමඩුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ, 16 වන බලඇණි ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එස්.ඒ.ඩී.පී ජයරත්න සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින්, ගුරුවරුන් සහ පාසල් සිසු සිසුවියන් පිරිසක්ද එක් වූහ.