Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th November 2023 08:22:10 Hours

15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් තඹලගමුව ප්‍රදෙශයේ පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයේ 223 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් තඹලගමුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම ප්‍රදේශයේ පවුලක් සඳහා නව නිවසක් ඉදිකර පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 03) දින පවරන ලදී.

චිත්‍රා වේලායුදම් ලිංගේෂ්වරම් ෂර්මා මහතා තම ආබාධිත දියණිය සහ පවුලේ සාමාජිකයන් සමඟ තඹලගමුව ප්‍රදේශයේ තාවකාලිකව ඉදිකර තිබූ නිවසක ජීවත්වූ අතර, තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, ප්‍රාදේශීය ලේකම් ජේ ශ්‍රීපති මහත්මිය ඔවුන් පිළිබඳව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී දැනුවත් කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ උපදෙස් අනුව, එම පවුල සඳහා නව නිවසක් ඉදිකිරීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් කඩිනම් අවශ්‍ය පියවර ගනු ලැබූ අතර, නිවස ඉදිකිරීමට ඉඩමක්, රු.මිලියන 1.35 මුල්‍යමය ප්‍රථිපාදන සහ අවශ්‍ය අමු ද්‍රව්‍ය තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දෙන ලදී.

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහ 223 පාබල බලසේනාවේ බලදේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එන්.සී මාරසිංහ ගේ අධීක්ෂණය යටතේ සහ එම ඒකකයේ භටපිරිස් විසින් නව නිවස ඉදිකිරීමේ කටයුතු සිදු කරනු ලැබීය.

ප්‍රථිලාභීන් වෙත නව නිවාස ලබාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහභාගි වූ අතර, සර්ව ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රතිලාභී පවුල වෙත නව නිවසේ යතුර සංකේතාත්මකව ප්‍රදානය කරනු ලැබීය. උත්සවය අතරතුර මොල්ලිපොතාන සිංහල පාසල, භාරතීපුරම් දෙමළ පාසල සහ තඹලගමුව හිග්මා මුස්ලිම් පාසලේ සිසු සිසුවියන් විසින් සංස්කෘතික නර්ථනාංගයන් ඉදිරිපත් කරන ලදී.

එම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී, චිත්‍රා වේලායුදම් ලිංගේෂ්වරම් ෂර්මා මහතාගේ පවුලේ බාල දියණිය සමගින් එක්ව නිවස පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. යුද්ධ හමුදාවේ භටපිරිස්හි කැපවීම වෙනුවෙන් ජේ ශ්‍රීපති මහත්මිය කෘතවේදීත්වය මෙහිදී පළ කළ අතර, උත්සවයේ කටයුතු අවසන් කරමින් සියළු දෙනා සමඟින් තේ පැන් සංග්‍රහයක් සඳහාද එක් වූහ.

උත්සව අවස්ථාවට 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 223 පාබල බලසේනාවේ බලසේනාධිපති, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් චමින්ද හෙට්ටිආරච්චි මහතා, තඹලගමුව ප්‍රාදේශීය ලේකම්තුමිය, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වූහ.