Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd October 2022 10:01:15 Hours

1 වන බලකායේ අභිමානවත් වූ පළමු සංවත්සර සැමරුම වෙනුවෙන් වැඩසටහන් මාලාවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුවිශේෂී නිපුණතාවයකින් හෙබි අතිරේක ප්‍රහාරක බලකායකින්, විශේෂ ක්‍රියාන්විත බලකායකින් සහ අනෙකුත් සන්නද්ධ අංශයන්ගෙන්ද සමන්විත 1 වන බලකායේ පළමු සංවත්සර සැමරුම් උත්සවය පසුගිය සිකුරාදා (21) දින කිලිනොච්චියෙහි පිහිටි එම බලකා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වූ අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 වන බලකායේ බලකාධිපතිතුමන්ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය.

1 වන බලකා කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් එම බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒකේජීකේයූ ඥානරත්න එන්ඩීසී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රධායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී.

ඉන් අනතුරුව, 1 වන බලකායේ බලකාධිපතිතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් සරඹ භූමිය වෙත කැටුව යන ලද අතර, එහිදී භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රධායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී. පසුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් 1 වන බලකායේ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකටද පෙනීසිටි අතර, අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා කඳවුරු පරිශ්‍රයේ සදුන් පැලයක්ද රෝපණය කරන ලදී.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු 1 වන බලකායේ නිලධාරීන් 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේ පැවති ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහනක් සඳහා සම්බන්ධ වූ අතර, එහිදී කිලිනොච්චිය ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන සිසුසිසුවියන් 53 දෙනෙකු වෙත ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගෙන යාමට සහ ඔවුන් දිරිගැන්වීමක් ලෙස මසකට රු.2000.00 බැගින් වසරක් සඳහා වූ මූල්‍යමය ශිෂ්‍යත්වයන් ප්‍රදානයක් සිදුකරනු ලැබිනි. එම උත්සවයේ පිළිගැනීමේ කථාව මේජර් ජෙනරල් ඒකේජීකේයූ ඥානරත්න එන්ඩීසී පීඑස්සී විසින් සිදුකරන ලදී. ප්‍රථිලාභි පාසල් සිසුසිසුවියන් තෝරාගැනීම සඳහා ප්‍රදේශයේ කලාප අධ්‍යාපන කාර්යාලයේ සහ පාසල් විදුහල්පතිවරුන්ගේ සහාය හිමිවිය.

එහීදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් 1 වන බලකායේ බලකාධිපතිතුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් එක්ව එම සිසුසිසුවියන් 53 දෙනා වෙත ශිෂ්‍යත්වයන් ප්‍රදානය කරනු ලැබූහ.

ඉන් අනතුරුව, සංවත්සර දිනයට සමගාමීව 1 වන බලකා මූලස්ථානය විසින් කිලිනොච්චිය ප්‍රදේශයේ සිසුසිසුවියන්ගේ කලා කුසලතාවයන් ඔප්නැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද ‘'Glory of Kilinochchi’ චිත්‍ර තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ සිසුසිසුවියන් සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මූල්‍යමය ත්‍යාගයන් සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී. එම තරඟාවලිය සඳහා පාසල් 66 ක් නියෝජනය කරමින් අයදුම්කරුවන් 225 ක් ඉදිරිපත් වී තිබූ අතර, සහභාගි වූ සියලුම දෙනා වෙතද සහතිකපත් ප්‍රදානය කරන ලදී.

සංවත්සර සැමරුම් දින උත්සවයට සමගාමීව පවත්වන ලද ක්‍රීඩා තරඟ මාලාවේ ජයග්‍රාහකයින් සඳහා වූ කුසලාන සහ සහතිකපත් ප්‍රදානයද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිනි.

මෙහිදී සංවත්සර සැමරුමට තවත් සුවිශේෂි බවක් එක් කරමින් 1 වන බලකායේ සුවිශේෂීත්වය සහ හැකියාවන් ඉස්මතුකරමින් රචිත 1 වන බලකායේ ගීතයද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් එළිදක්වන ලද අතර, එම ගීතයේ මංගල සීඩී තැටිය එම බලකායේ බලකාධිපතිතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වන ලදී.

අනතුරුව, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් 1 වන බලකායේ සියළු භටපිරිස් අමතමින් එම බලකායේ සංවත්සර සැමරුම නිමිත්තෙන් සිය සුභාශිංසන එක කළ අතර, 1 වන බලකාය ආරම්භකර ගත වූ වසරක කාලය තුළ විශිෂ්ඨ අයුරින් සිදුකරන ලද කාර්යභාරයන් සහ වගකීම් ඇගයීමට ලක් කළේය. රටේ හදිසි අවස්ථාවලදී, ආරක්‍ෂාවට, ස්වභාවික විපත්වලදී හෝ වෙනත් ආකාරයකින් සිදුවිය හැදි ඕනෑම අභියෝගයකට මුහුණ දීම සඳහා නිරතුරුවම සූදානමින් සිටීමේ වැදගත්කම ද අවධාරණය කරමින් මෙම බලකායේ ‘වේගවත්, නිර්භීත, අභීත’ (Swift, Vigour, Bevery) යන ආදර්ශ පාඨය පෙරදැරිව එම වගකීම් නිසියාකාරය රටේ සිවිල් ජනතාවගේ යහපත වෙනුවෙන් ඉටු කරන බවත් එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය.

මෙහිදී 1 වන බලකාය සඳහා දැඩි අවශ්‍යතාවයක්ව තිබූ, නවතමයෙන් ඉදිකරන ලද කොනොනි සමාජ ශාලාවද සංවත්සර සැමරුමට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සමරු ඵලකය නිරාවරණය කරමින් විවෘත කරන ලදී. අනතුරුව එතුමන් විසින් අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය.

සංවත්සර සැමරුම් දින උත්සවය අවසානයේදී මේජර් ජෙනරල් ඒකේජීකේයූ ඥානරත්න එන්ඩීසී පීඑස්සී විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කළ අතර, අධික කාර්ය බහුලත්වය මධ්‍යයේ වුවද මෙම සංවත්සර සැමරුම් උත්සවය සඳහා සහභාගීවීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත මෙහීදී කෘතවේදීත්වයද පුද කරන ලදී.

1 වන සංවත්සරය සමරන 1 වන බලකාය, 53 වන සේනාංකය, 58 වන සේනාංකය, කමාන්ඩෝ බලසේනාව, විශේෂ බලකා බලසේනාව සහ තවත් සන්නද්ධ අංශ කිහිපයකින් සමන්විතව ක්‍රියාකාරී හමුදා බලඇණියක් ලෙස කටයුතු කරන අතර, රටේ ඕනෑම හදිසි අවස්ථාවන්හිදී යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් මත ක්‍රියාත්මක වීමට සූදානම්ව සිටිති. අතිරේක ප්‍රහාරක බලකායකින් (RSF) සහ, විශේෂ ක්‍රියාන්විත බලකායකින් (SOF) සමන්විත 1 වන බලකාය ස්වභාවික විපත්, ජාතික ආරක්‍ෂාවට වන තර්ජන, වසංගත, ත්‍රස්තවාදී තර්ජන, කැරලි කෝලහාල හෝ වෙනත් හදිසි අවස්ථා වැනි තත්ත්වයන් සඳහා ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා ස්ථාපිත කොට ඇත.