Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th August 2019 16:50:16 Hours

‘විජයබාහු සුපර් ක්‍රොස්’ තරඟාවලිය සඳහා බෝයගනේ ධාවන පථය සූදානම්

එළඹෙන ‘විජයබාහු සුපර් ක්‍රොස් - 2019’ තරඟාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඩී.එම්.ඩී.සී.ඩී. ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (9) දින පස්වරුවේ කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්විණි.

මෙම වසරේ විජයබාහු පාබල රෙජිමේන්තුවෙහි ක්‍රීඩා දින දර්ශනයේ අභිමානය වැඩිදුරටත් විදහා දක්වමින් එළඹෙන අගෝස්තු මස 25 වන දින ආකර්ෂණීය අංග 13 කින් සමන්විත වන මෙවර තරඟාවලිය අඛණ්ඩව 17 වන වරටත් බෝයගනේ මෝටර් රථ ධාවන පථයේදී මහත් චිත්තාකර්ශණීය අයුරින් පැවැත්වෙන බවට මෙම මාධ්‍ය හමුවේදී කරුණු අනාවරණය විය. මෙම වසරේ තරඟාවලිය සඳහා තායිලන්තයේ යතුරුපැදිකරුවන් දෙදෙනෙකු මෙන්ම ජපානයේ තවත් යතුරුපැදිකරුවකු දැනටමත් ඉල්ලුම්පත් යොමුකර ඇති අතර එළඹෙන අගෝස්තු මස 13 අයදුම්පත් භාරගන්නා අවසන් දිනය වේ. විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයෙන් සහ ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයින්ගේ සංගමයෙන් අයදුම්පත් ලබා ගත හැකි බව වැඩිදුරටත් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරනු ලැබිණි.

ගමන් පාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්.එස්. ආරියරත්න, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සිසිර බණ්ඩාර, විජයබාහු පාබල රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩී.කේ. අළුදෙණිය, ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයින්ගේ සංගමයේ සභාපති උපාලි දිසානායක, එම සංගමයේ ලේකම් පී. රාඝුනාදන් යන මහත්වරුන් ඇතුළු තවත් අනුග්‍රාහක භවතුන් කිහිපදෙනෙකු මෙම මාධ්‍ය හමුවෙහි කරුණු පැහැදිලි කිරීම සඳහා එක්ව සිටියහ.

මෙම තරඟාවලියෙන් උපයනු ලබන මූල්‍ය ප්‍රතිපාදන විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරුවන්, ආබාධිත රණවිරුවන් මෙන්ම මියගිය රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුභසාධනයට සහ සමාජ සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට නියමිතය. මෙම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව වෙනුවෙන් මාධ්‍යවේදීන් විශාල පිරිසක් ද සහභාගී වූහ.Buy Sneakers | Mens Flynit Trainers