25th November 2023 10:28:19 Hours
අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘මේජර් ජෙනරල් වයි. බාලරත්නරාජා වීඑස්වී යූඑස්පී එන්ඩීසී යුද ශාරීරික අභියෝග ශූරතා කුසලාන තරඟාවලිය - 2023’ නොවැම්බර් මස 17 සිට 19 දින දක්වා කාලය තුළ සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ බාධක තරණ පුහුණු පෙදෙසේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් පළමුවරට පැවැත්වූ මෙම තරඟය සන්නාහ සන්නද්ධ බලකායේ සාමාජිකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය, විඳදරාගැනීම, ආත්ම විශ්වාසය සහ කණ්ඩායම් හැඟීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබයි.
ඉදිරියේදී වාර්ෂිකව පැවැත්වීමට නියමිත මෙම තරඟයේදී යුද්ධ හමුදා ක්‍රමවේදයන්ට අනුකූලව කිලෝමීටර් 5 ක දුරක් දිවීමෙන් පසුව සංග්‍රාමික බාධක 20 ක් පසුකිරීමට ඇත. ඒකක හයක් නියෝජනය කරමින් කණ්ඩායම් හයක් මෙම තරඟය සඳහා සහභාගී විය. සෑම කණ්ඩායමකටම නිලධාරීන් සහ සෙසුනිලයන් නියෝජනය කරමින් සාමාජිකයන් 20 දෙනෙකු ඇතුළත් විය.
‘මේජර් ජෙනරල් වයි. බාලරත්නරාජා වීඑස්වී යූඑස්පී එන්ඩීසී යුද ශාරීරික අභියෝග ශූරතා කුසලාන තරඟාවලිය - 2023’ හි ශූරතාවය 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් දිනාගත් අතර 5 විමර්ශන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය අනුශූරතාවයත් 1 විමර්ශන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය දෙවන අනුශූරතාවයත් දිනාගනු ලැබීය.
තරඟයේ හොඳම සංග්‍රාමික සෙබලාට හිමි සම්මානය 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ලාන්ස් කෝප්‍රල් පී.බී.ඒ. තිලකරත්න විසින් දිනාගනු ලැබිණි.
දිවංගත මේජර් ජෙනරල් වයි. බාලරත්නරාජා වීඑස්වී යූඑස්පී එන්ඩීසී වර්ෂ 1959 සිට 1992 දක්වා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය යටතේ සේවය කළ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. සන්නාහ සන්නද්ධ බලසේනාවේ ප්‍රථම බලසේනාධිපති ධූරය හෙබවූ එතුමන් විශ්‍රාම ලබන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරය හොබවමින් සිටියේය. දිවංගත මේජර් ජෙනරල් වයි. බාලරත්නරාජා වීඑස්වී යූඑස්පී එන්ඩීසී ගේ පුතණුවන් වන බ්‍රහ්මන් බාලරත්නරාජා මහතා ඇතුළු එතුමන්ගේ පවුලේ සාමාජිකයින් මෙම තරඟය සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය දැක්වීය.
මෙම තරඟයේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.කේ.ටී. ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී සහ බ්‍රහ්මන් බාලරත්නරාජා මහතා සහභාගි වූහ. එමෙන්ම, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.