Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th September 2019 13:49:30 Hours

සෙවණගලදී 9 වන වරටත් පැවැති ‘වලවේ සුපර්ක්‍රොස්’ තරඟාවලිය ක්‍රීඩාලෝලින් දහස්ගණනකගේ සහභාගිත්වයෙන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව (SLEME) ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුව සමඟ එක්ව 9 වන වරටත් සංවිධානය කරන ලද ‘වලවේ සුපර්ක්‍රොස් - 2019’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය ඉකුත් ඉරිදා (22) දින ක්‍රීඩාලෝලීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් උඩවලව, සෙවණගල සුපර්ක්‍රොස් ධාවන පථයේ දී පැවැත්විණි.

මෙවර තරඟාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව, යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් වසන්ත මාදොල ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

‘වලව සුපර්ක්‍රොස්’ තරඟාවලියේ සමාරම්භක තරඟාවලිය වර්ෂ 2011 දී පවත්වන ලද අතර එතැන් සිට අඛණ්ඩව පැවැති මෙම තරඟාවලිය මෙවර ද සංවිධායකයින් සහ අනුග්‍රාහකයින්ගේ දායකත්වය ඇතිව ශ්‍රී ලංකාවේ හොඳම ධාවන තරඟාවලියක් ලෙස සාර්ථකව පවත්වනු ලැබීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙවර තරඟාවලිය සඳහා දිවයින පුරා මෝටර් රථ හා යතුරුපැදි සමාජ නියෝජනය කරමින් රියදුරන් හා ධාවකයින් 250 කට අධික ප්‍රමාණයක් තරඟ වැදුණි.

වලවේ සුපර්ක්‍රොස් යනු ප්‍රේක්ෂකයින්ට විනෝදය ගෙන එන තරඟාවලියක් පමණක් ද නොවේ. මෙම තරඟාවලියෙන් ලැබෙන සියලුම මුදල් ප්‍රතිපාදන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ආබාධිත රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා යොදවනු ලබයි. මෙවර තරඟාවලිය යතුරුපැදි ඉසව් 8 ක් සහ මෝටර් රථ ඉසව් 16 ක් සමඟින් තරඟ ඉසව් 24 කින් සමන්විත විය.

උඩවලව - තණමල්විල ප්‍රධාන මාර්ගයේ 17 වන සැතපුම් කණුව අසල පිහිටි යුද්ධ හමුදා කඳවුරට මදක් ඔබ්බෙන් ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි ධාවන පථයේදී පැවැති මෙම තරඟාවලියට සංවිධායකයින් සමඟ එක්ව ශ්‍රී ලංකා මෝටර් රථ සමාජයේ සාමාජිකයින් අනුග්‍රාහකත්වය ලබාදුන්හ. පසුගිය වසර නවය තුළ මෙම තරඟාවලිය සාර්ථකව සංවිධානය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් වසන්ත මාදොල සහ යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ උප සභාපති එක්ව දැඩි වෙහෙසක් දරා ඇත.

යතුරුපැදි ඉසව් 8 ක් සහ මෝටර් රථ ඉසව් 16 ක් සමඟින් මෙවර තරඟාවලිය තරඟ ඉසව් 24 කින් සමන්විත වූ අතර ස්ටෑන්ඩඩ්/මොඩිෆයිඩ් (Standard/Modified) 125cc (2T & 4T) දක්වා, ස්ටෑන්ඩඩ්/මොඩිෆයිඩ් (Standard/Modified) 125cc 2T සිට 250cc 4T (Twin Races) විශේෂ ඉසව් 125 cc 2T දක්වා (විශේෂ සමාජ ඉසව්ව), රේසින් යතුරුපැදි 100cc සිට 125cc (2T) දක්වා, රේසිං යතුරුපැදි 100 cc සිට 125 cc 2T සහ 175 cc සිට 250 cc 4T ප්‍රධාන තරඟ ඉසව් අතර වේ.

තරඟාවලිය අවසානයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ජයග්‍රාහකයින්ට මුදල් ත්‍යාග, කුසලාන සහ සහතිකපත් පිරිනමනු ලැබීය. සංවිධායකයින් විසින් තරඟාවලියේ හොඳම ධාවකයාට අභාවප්‍රාප්ත යතුරුපැදි ධාවක ආනන්ද වෙඩිසිංහ අනුස්මරණ අභියෝගතා කුසලානය ප්‍රදානය කරන ලදී.  මෙම සම්මානය හොඳම ධාවකයා විසින් සුපිරි මෝටර් රථ ඉසව් දෙකක් ජයග්‍රහණය කරමින් හිමිකරගන්නා ලදී. Sports Shoes | Sneakers