Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd September 2021 19:37:24 Hours

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති අතිගරු හුසේන් එල් සහර්ති මහතා (HE Hussein El Saharty) බ්‍රහස්පතින්දා (23) දින පස්වරුවේ යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තනාපති, යුද්ධ හමුදා මුලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරල් මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර විසින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැටුව යනු ලැබීය. ඉන් අනතුරුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සිය කාර්යාලයේදී ඊජිප්තු තානාපතිවරයා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ද්විපාර්ශ්වික සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහදව සාකච්ඡාවක නිරත වූහ.

දෙරට අතර පවත්නා ආරක්‍ෂක සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳව අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන් දෙරට අතර සියවස් ගණනාවක සිට පැවති ඓතිහාසික සබඳතා පිළිබඳවද ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපතිවරයා වෙත සිහිපත් කළේය.

දෙරට අතර හමුදා පුහුණු වැඩසටහන් ඇතුළු ආරක්‍ෂක ක්‍රියාකාරකම් තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම සුහද හමුව අතරතුරදී ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තනාපති අතිගරු හුසේන් එල් සහර්ති මහතාගේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් සිය සුභපැතුම් පිරිනැමු යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම හමුව අවසානයේ එතුමන් වෙත සමරු තිළිණයක් ද පිරිනැමුවේය.

මෙම සුහද හමුව අවසානයේ අතිගරු හුසේන් එල් සහර්ති මහතා ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගෙන් කරුණු විමසුවේය.

කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවති මෙම සුහද හමුව අවසානයේ ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තනාපති යුද්ධ හමුදා මූලස්ථානයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සමරු සටහනක් ද තැබුවේය.