25th November 2023 10:37:09 Hours
නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2023 නොවැම්බර් මස 22 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.
මෙම උත්සවයේදී, විශ්‍රාම දිවියට පා තබන කර්නල් එම්.අයි.වී. ප්‍රනාන්දු ආර්එස්පී (විශ්‍රාමික) සහ කර්නල් එස්.ඒ.වයි. පෙරේරා (විශ්‍රාමික) ගේ සේවය පැසසුමට ලක්කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී නියෝජනය කරමින් එම බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී ගේ සුරතින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානය කරනු ලැබීය.
කර්නල් එම්.අයි.වී. ප්‍රනාන්දු ආර්එස්පී (විශ්‍රාමික) විශ්‍රාම ලැබීමට ප්‍රථම කොම්බමාවිල් ප්‍රදේශයේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරි ධූරය හෙබවීය. වර්ෂ 1991 ජුනි මස 27 දින කෙඩෙට් නිලධාරි ස්වෙච්ඡා පුහුණු පාඨමාලා අංක 15 සාර්ථකව හදාරා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙත බැඳුනු එතුමන් වර්ෂ 1991 දෙසැම්බර් මස 07 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්ත කෙරිණි. එතුමන්ගේ සේවා කාලය තුළ අණ හා මාණ්ඩලික තනතුරු රැසක් හොබවා ඇත. 2018 සැප්තැම්බර් මස 29 දින කර්නල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2023 නොවැම්බර් මස 10 දින සිට විශ්‍රාම දිවියට පා තැබුවේය. එතුමන් මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම වෙනුවෙන් එතුමන් රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇත.
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ කර්නල් එස්.ඒ.වයි. පෙරේරා වර්ෂ 1992 දෙසැම්බර් මස 30 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙත බැඳුනු අතර යුද්ධ හමුදා මූලික පුහුණුව සාර්ථකව හදාරා වර්ෂ 1993 ජුනි මස 19 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්විය. සිය හමුදා දිවිය තුළ ක්‍රියාන්විත සහ ක්‍රියාන්විත නොවන රාජකාරින්හිදී මැනවින් සිය වගකීම ඉටුකරනු ලැබීය. විශ්‍රාම දිවියට පා තබන විට එතුමන් කේප්පපිලවු ප්‍රදේශයේ ස්ථාපිත 59 පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ධූරය හෙබවීය. 2023 ඔක්තෝබර් මස 10 දින කර්නල් නිලයට උසස්වීම් ලද කර්නල් එස්.ඒ.වයි. පෙරේරා 2023 නොවැම්බර් මස 27 දින සිට විශ්‍රාම දිවියට පා තැබීමට නියමිතව ඇත.
මෙම උත්සවය සමාප්තියේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු නිලධාරින් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ විශ්‍රාම දිවියට මෙන්ම ඔවුන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ද සිය සුබපැතුම් එක්කළහ.