Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st November 2023 20:55:54 Hours

විශ්‍රාම දිවියට පා තබන බ්‍රිගේඩියර් ඕ.එම්.ඩී. ගුණසිංහ වෙත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ගෞරවාචාරය

විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මූලස්ථානයේ කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ ධූරය හෙබවූ බ්‍රිගේඩියර් ඕ.එම්.ඩී. ගුණසිංහ ගේ සේවය ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2023 නොවැම්බර් මස 17 දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ඕ.එම්.ඩී. ගුණසිංහ වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී. කළුතරආරච්චි විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

බ්‍රිගේඩියර් සී. කළුතරආරච්චි වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි නිලධාරි නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ බ්‍රිගේඩියර් ඕ.එම්.ඩී. ගුණසිංහ රැස්ව සිටි නිලධාරින් සමඟ සුහද අදහස් හුවමාරුවක නිරතවිය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත ගෞරවාචාර පුදකිරීම වෙනුවෙන් එදින සන්ධ්‍යාවේ රෙජිමේන්තු මූලස්ථාන නිලධාරි නිවස්නයේදී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි. එහිදී, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී. කළුතරආරච්චි විසින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් එතුමන් සිදුකළ සේවය පැසසුමට ලක්කළේය.

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී සහ සියලුම නිලධාරීන් විසින් නික්මයන බ්‍රිගේඩියර් ඕ.එම්.ඩී. ගුණසිංහ වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

මෙම උත්සව අවස්ථාවට සමගාමීව පැවති රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් ද සහභාගී වූහ.