Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2022 19:04:52 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි සිංහල, දමිළ සහ මුස්ලිම් ජාතිකයන් සමගින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 සේනාංක බලප්‍රදේශය යටතේ ඇති 223 සහ 222 පාබල බලසේනා විසින් කලාපයේ දිවිගෙවන ජනතාව අතර සහජීවනය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නොවැම්බර් මස 25 සිට 27 දක්වා කාලය තුළ වාලත්තෝට්ටම් ක්‍රීඩා පිටියේ සහ සාම්පූර් මහජන ක්‍රීඩා පිටියේ ක්‍රිකට් තරඟාවලි දෙකක් සංවිධානය කරන ලද අතර, ඒ වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු වල සාමාජිකයින් පිරිසක්ද සහභාගී වූහ.

222 පාබල බලසේනාව විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශයේ සිංහල, දමිළ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 8ක් තරඟ වැදුණු අතර, සේරුනුවර සිවිල් ආරක්‍ෂක දේපාර්තමේන්තු ක්‍රිකට් කණ්ඩායම විසින් එහි ශූරතාවය දිනාගන්නා ලදී. තවද එහි අනුශූරතාවය සූරනගර්හි කාවරි ක්‍රීඩා සමාජයට හිමිවිය.

222 පාබල බලසේනාව විසින් සංවිධානය කරනු ලැබූ එම ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සහ සම්මාන ප්‍රදානෝත්සවය නැරඹීම සඳහා 222 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 24 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් මෙන්ම එම ප්‍රදේශයේ ක්‍රිකට් ලෝලීන් විශාල පිරිසක් ද සහභාගී වූහ.

මේ අතර, 223 පාබල බලසේනාව විසින් පසුගිය ඉරිදා (27) දින සාම්පූර් මහජන ක්‍රීඩාංගණයේදී සංවිධානය කළ ක්‍රිකට් තරගාවලිය සඳහා යුද, නාවික, පොලිස් සහ දමළ හා මුස්ලිම් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 24ක් තරඟ කරන ලදී. එහිදි ‘සාම්පූර් ස්ටාර් ඒ’ කණ්ඩායම තියුණු සටනකින් පසු ශූරතාව දිනා ගැනීමට සමත් වූ අතර, ‘මුතූර් රියල් ස්ටාර්’ ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායම විසින් එම තරගාවලියේ අනුශූරතාව හිමිකර ගන්නා ලදී.

මෙම ක්‍රිකට් තරඟාවලියේ අවසන් ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා 223 පාබල බලසේනාවේ බලසේනාධිපති, විදුර නාවික හමුදා පුහුණු පාසලේ සේනාවිධායක, පැරකුම්බා ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී, ත්‍රිකුණාමලය කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් සහභාගී වූහ.