Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2023 20:04:55 Hours

යුද්ධ හමුදා බෝම්බ නිෂ්ක්‍රිය බලඝණය, පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව ජනාධිපති ආරක්‍ෂක ඒකකයේ සාමාජිකයින් දැනුවත් කරයි

යුද්ධ හමුදා බෝම්බ නිෂ්ක්‍රිය බලඝණය සහ 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික ප්‍රතිචාර බලඝණය සමඟ එක්ව ජනාධිපති ආරක්‍ෂක එ්කකයේ සාමාජිකයින් 47 දෙනෙකු සඳහා ‘පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීම සහ භාවිතය’ යන මැයෙන් දෙදින වැඩමුළුවක් නොවැම්බර් මස 25 දින සිට 26 දින දක්වා කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ගේ මඟපෙන්වීම සහ 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික ප්‍රතිචාර බලඝණයේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය මත මෙම වැඩමුළුව සංවිධානය කරන ලදී.

නිලධාරියෙකු සහ සෙසු නිලයින් 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලද අතර, වැඩමුළුව මගින් න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදෙන ලදී. න්‍යායාත්මක අංශයේ දේශනයන්හිදී පුපුරන ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීම පිළිබඳව ඉතා සියුම් ලෙස විග්‍රහ කරනු ලැබීය.

වැඩමුළුව සඳහා සහභාගීවූවන්ට පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීම සහ පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීම සම්බන්ධ වූ විවිධ අවස්ථාවන් පිළිබඳව මනා දැනුමක් ලබාගැනීමට හැකි වූ අතර, අභියෝගාත්මක අවස්ථාවන් හිදී කටයුතු කරන ආකාරය පිළිබඳ මනා අවබෝධයක් ද ලබාගත හැකි වූහ.