Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd August 2020 12:23:59 Hours

යුද්ධ හමුදා ප්‍රධානි කතරගම දේවාල පරිශ්‍රයේ වර්ණවත් විදුළි බුබුළු විවෘත කරමින් එම ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස් දිරිගන්වයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කතරගම බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතාගේ ආරාධනයකට අනුව ඉකුත් සෙනසුරාදා (1) දින පූජනීය කතරගම පෙරහැර මංගල්‍ය නැරඹීම සඳහා සපැමිණි අතර, එහිදි කතරගම පෙරහැර මංගල්‍ය වෙනුවෙන් සූදානම්කර ඇති ආලෝක පද්ධතිය ක්‍රියාත්මක කරමින් මෙම පූජනීය කටයුත්තෙහි ආරම්භය සනිටුහන් කළේය.

එම අවස්ථාවට සහභාගී වීමට පෙර යුද්ධ හමුදාධිපතිතුමන් පූජනීය ‘කිරි වෙහෙර’ චෛත්‍ය අභියසදී පුද පූජා පැවැත්වීම සඳහා සහභාගී වූ අතර, අනතුරුව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කතරගම මහා දේවාලයේ දේව පූජාවට සහභාගී වූ අතර, එහිදි කතරගම දේවාලයේ කපු මහතා වන සෝමපාල රත්නායක විසින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සහ මෙරට කොඩිඩ් - 19 වෛරසය මුළුමුනින් තුරන් කරලීම සඳහා වෙහෙසෙන සැමට ආශීර්වාද එක් කළේය.

කතරගම පෙරහැර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් පෙරහැරේ ගමන් කිරීමට නියමිත හස්ති රාජයාගේ පිටමත වැඩහිදුවා සිටින කතරගම දෙවිදුන්ගේ අනුරුව වෙත පුෂ්පෝපහාර පිදීමට එක්වෙන ලෙස බස්නායක නිලමේ විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ට එහිදි ආරාධනා කළේය. එම පුෂ්පෝපාහාර පිදීමෙන් අනතුරුව දර්ශනීය පෙරහැර මංගල්‍ය වර්ණවත් කරමින් විවිධ සංදර්ශනයන් ඉදිරිපත් කිරිමට එක්ව සිටි නර්තන ශිල්පීන් සමග කෙටි පිළිසඳරක නිරත වීමට ද යුද්ධ හමුදාධිපතිතුමන් කටයුතු කළේය.

පෙරහැර මංගල්‍ය නිමාවීමෙන් පසු පූජනීය ස්ථානය සංවර්ධනය කිරීම සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය සනිටුහන් කරමින් යුද්ධ හමුදාව වෙනුවෙන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් බස්නායක නිලමේ වෙත මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කළේය. එම අවස්ථාවේදී බස්නායක නිලමේ විසින් කොවිඩ් - 19 වෛරසය මැඩලීම වෙනුවෙන් මහගු කාර්යභාරයක් ඉටුකරන වැඩපිළිවෙලට නායකත්වය ලබාදෙන යුද්ධ හමුදාධිපතිතුමන්ට ප්‍රශංසා කරමින් ලබාදුන් මූල්‍යමය පරිත්‍යාගය කෘතඥතා පූර්වකව පිළිගනු ලැබීය.

එම අවස්ථාවෙන් පසු, විශේෂ අවධානයක් යොමු කරමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ හා ඒ යටතේ පාලනය වන බලසේනාවන් තුනක නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් අමතමින් මහජනයාගේ ගමන් බිමන් සීමා කරමින් මේ වසරේ පෙරහැර පවත්වනු ලැබුවද, සන්නද්ධ හමුදාවල සාමාජිකයින්ට සහ පොලීසියට මෙම පුරාණ උත්සවය චාරිත්‍රනුකූලව පැවැත්වීමේ වගකීම පැවරි තිබුන බව මෙන්ම එම වගකීම මැනවින් ඉටුකිරිම වෙනුවෙන් භටපිරිස් දැක් වූ දායකත්වය අගය කළ අතරම යුද්ධ හමුදා ප්‍රධානී ඔවුන් දිරිගන්වමින් වියළි ආහාර සලාක පාර්සල් ලබාදීමට ද එහිදි කටයුතු කළේය.

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් පුරාණ චාරිත්‍ර වාරිත්‍ර වලට පමණක් සීමා කරමින් අඩු ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයෙන් අලි ඇතුන් හා නර්තන ශිල්පීන් සීමිත සංඛ්‍යාවක් සහභාගී කරවා ගනිමින් පැවැත්වීමට නියමිත වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවන ලෙස බස්නායක නිලමේ විසින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එහිදි ආරාධනා කළේය.

මෙම වාර්ෂික සම්ප්‍රදායික කතරගම පෙරහැර මංග්‍යලය නැරඹීම සඳහා යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සුජීවා නෙල්සන් මහත්මිය, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා, 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රතාප තිලකරත්න, 122 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලංකා අමරපාල ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පැමිණ සිටියහ. Nike Sneakers Store | Women's Designer Sneakers - Luxury Shopping