Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd August 2019 13:02:23 Hours

යුද්ධ හමුදා දිවියෙන් නික්මයන මේජර් ජෙනරාල් කැප්පෙටිවලාන වෙත සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය පිරිනමයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවේ වසර 35 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් ප්‍රධාන පෙලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන වෙත හමුදා සම්ප්‍රදායානුකූල සමුදීමේ උත්සවයක් ඉකුත් අඟහරුවාදා (13) දින අබේපුස්ස ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මුලස්ථානයේ දී පැවැත්විණි.

මෙම සමුගැනීමේ උත්සවය සඳහා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ව, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් සුදේශ් සිරිවර්ධන විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදී. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවල විසින් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ව ප්‍රධාන පීඨිකාව වෙත කැඳවාගෙන යාමෙන් අනතුරුව වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරීනමනු ලැබීය.

අනතුරුව එතුමන් රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මූලස්ථානයේ ඉදිකර ඇති රණවිරු ස්මාරකය වෙත පූෂ්පෝපහාර පූද කරනු ලැබීය. මෙම අවස්ථාවට සහභාගී වූ සියලුදෙනා සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් එතුමන් බළලත් නිලධාරී හා සැරයන් නිවස්නයේ පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට ද සහභාගි විය. ඉන් අනතුරුව, එතුමන්ට ගෞරව කිරීමක් ලෙස නිලධාරී නිවස්නයේ පැවැති දිවාභෝජන සංග්‍රහයකට ද රෙජිමේන්තුවේ සියලු නිලධාරීන් සමඟින් එතුමන් සහභාගි විය.

මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන බළලත් නිලධාරී හා සැරයන් නිවස්නයේ දී සහ නිලධාරී නිවස්නයේ දී පැවැත්වූ සමුගැනීමේ දේශනවලදී, වසර 35 කට අධික සේවා කාලය තුළ සිය රාජකාරි ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් දැක්වූ සහයෝගය වෙනුවෙන් සියලුමදෙනාට තම කෘතඥතාවය පුදකළේය. සමුගැනීමේ උත්සවය අවසානයේ නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ට විශේෂ සමරුතිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

එතුමන් විශ්‍රාම යන විට යුද්ධ හමුදා මූලස්ථානයේ පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස රාජකාරී කළ අතර පාබල බලඇණි සඳහා නව යුද අභ්‍යාස පැවැත්වීමෙන් නව උපාය මාර්ග රැසක් ද හඳුන්වාදීමට එතුමන්ට හැකි විය. එතුමන්ගේ කැපීපෙනෙන සේවය සියලුදෙනාගේ කීර්තියට හා ප්‍රශංසාවට ලක්විය. එතුමන්, වෙස්ටන් ෂීල්ඩ් (Western Shield) යුද අභ්‍යාසය පාබල හමුදාවට නවතමයෙන් හඳුන්වාදෙනු ලැබීය. වර්ෂ 1984 මාර්තු මස 7 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 20 යටතේ කෙඩෙට් නිලධාරීයෙකු ලෙස එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්විය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති මෙම උත්සවය සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒ.එම්.ආර්. ධර්මසිරි, 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.කේ.බී. උදළුපොළ, 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ඇතුළු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ පවුලේ සාමාජිකයින් සහ ඥාතීන් රැසක් ද සහභාගි වූහ. Nike air jordan Sneakers | Air Max