Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th November 2023 10:12:19 Hours

යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ 3 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

2023 නොවැම්බර් මස 18 දිනට යෙදුනු යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ 3 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරනු ලැබීය. ආගමික වතාවත්වලට ප්‍රමුඛතාව ලබාදෙමින් යුද්ධ හමුදා සාමාජිකයන් අතර සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් මාලාවක් මීට සමගාමීව ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම උත්සවයේ සංවිධාන කටයුතු ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී විඑස්වි යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලැබීය.

සංවත්සර දිනය සනිටුහන් කරමින් ‘සමාජීය සෞඛ්‍යය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් මහාචාර්ය හේමන්ත පෙරේරා මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රෝහල්වල සේවයේ නියුතු ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් 2023 නොවැම්බර් මස 15 දින එම මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වනු ලැබීය.

2023 නොවැම්බර් මස 16 දින පූජ්‍ය බඹරැන්දේ වජිරානන්ද හිමිපාණන්ගේ වැඩමවීමෙන් ‘සිඟාලෝවාද සූත්‍රය’ පිළිබඳ දේශනා කරමින් ධර්ම දේශනාවක් පවත්වමින් ජීවිතය සාර්ථක කරගැනීම වෙනුවෙන් අගනා මඟපෙන්වීමක් ලබාදෙනු ලැබීය. එහිදී, කැපවීම සහ ඵලදායිතාවය තුළින් ජීවිතය සහ රාජකාරි ස්ථානය යහපත් කරනුයේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි කෙරිණි.

නොවැම්බර් මස 17 දින භටපිරිස් ‘තුසිත වැඩිහිටි නිවාසය’ පිරිසිදු කර එම වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.

සංවත්සර දිනය යෙදී තිබූ නොවැම්බර් මස 18 දින ඉංජිනේරු සේනාංක මූලස්ථානය වෙත සපැමිණි එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී විඑස්වි යූඑස්පී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ. සේනාංකාධිපතිතුමන්ගේ භටපිරිස් ආමන්ත්‍රණයෙන් අනතුරුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහභාගී වූහ.