Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th December 2023 20:22:44 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් දියතලාව ස්වෙච්ඡා පුහුණු පාසලේ බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය විවෘත කෙරේ

ස්වෙච්ඡා පුහුණු පාසලේ නවතමයෙන් ඉදිකරන ලද බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එම පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.ජී ජයරත්න කේඑස්පී ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඉරිදා (17) දින පෙරවරුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

17 ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තුවේ සහ ස්වෙච්ඡා පුහුණු පාසලේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය මත මෙම නිවස්නය ඉදිකල අතර, එහි භෝජනාගාරයක්, රූපවාහිනී නැරඹුම් කාමරයක්, මුළුතැන්ගෙයක්, අමුත්තන් සඳහා වූ කාමරයක් ඇතුලත්ය.

ස්වෙච්ඡා පුහුණු පාසල වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් එම පාසලේ සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය (drive-past) පිරිනමන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ අනෙකුත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් නවතමයෙන් ඉදිකරන ලද බළලත් නිලධාරී සහ සැරයන් නිවස්න පරිශ්‍රය වෙත ගොස් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ විශේෂ ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා විවෘත කරනු ලැබීය. අනතුරුව එතුමන් ඇතුළු පිරිස නව නිවස්නය ඇතුලත නිරීක්‍ෂණය කරනු ලැබීය.

අනතුරුව පැවති තේ පැන් සංග්‍රහය අතරතුරදී යුද්ධ හමුදාධිපතිතුමන් නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගනිමින් මෙම පාසලේ සංවර්ධනයට අදාළ අතීත මතකයන් ආවර්ජනය කරනු ලැබීය.

උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.