Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2022 19:02:30 Hours

මේජර් ජෙනරල් චන්න වීරසූරිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති ධූරයෙන් නික්මයයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා රෙජිමේන්තු අධිපති ධූරයෙන් නික්මයන ලදී. එම අවස්ථාව වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානූකූල සමුගැනීමේ උත්සවයක් ඉකුත් බදාදා (30) දින දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් චන්න වීරසූරිය වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. මෙහිදී එතුමන් පිළිගනු ලැබූවේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එම්.ඒ අබේසිංහ විසිනි.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය අභියසදී දේශය වෙනුවෙන් දිවිපිදු එම රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් සිහිකර ඔවුන් වෙත ගෞරවාචාර දැක්වීමද මෙම අවස්ථාවේදී සිදුවිය. අනතුරුව භටපිරිස් විසින් එම රෙජිමේන්තු සරඹ භූමියේදී හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමනු ලැබීය.

අනතුරුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඇමතු මේජර් ජෙනරල් චන්න වීරසූරිය සිය ධූර කාලය තුළ තමන් වෙත දැක්වූ සහයෝගය වෙනුවෙන් ඔවුන් වෙත සිය කෘතඥතාවය පළකරන ලදී.

සමුගැනීමේ අවස්ථාව සංකේතවත් කරමින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් බලලත් නිලධාරි සහ සැරයන් නිවස්නය සඳහා එම කඳවුරු පරිශ්‍රය තුළ අභිනවයෙන් ඉදිකරනු ලැබු නවාතැන් ගොඩනැගිල්ල එතුමන් විසින් විවෘත කරන ලදී.

සමුගැනීමේ උත්සවය අවසන් කරමින් හමුදා සම්ප්‍රදායානුකූව කඳවුරු පරිශ්‍රයෙන් නික්මයන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 13 වන රෙජිමේන්තු අධිපති වෙත කඳවුරු පරිශ්‍රයේ මාර්ගය දෙපස සිට භටපිරිස් විසින් සිය ගෞරවාචාරය පුදකරන ලදී.