Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd September 2019 17:57:20 Hours

මාලදිවයින් ආරක්‍ෂක හමුදා ප්‍රධානීට හමුදා ගෞරවාචාර පිරිනමයි

‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මාලදිවයින් ආරක්‍ෂක හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් අබ්දුල්ලා ෂමාල් (Major General Abdulla Shamaal) ඉකුත් සිකුරාදා (30) දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදී එතුමන්ව හමුදා ගෞරවාචාර පිරිනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඉන්දික පෙරේරා විසින් යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි මාලදිවයින් ආරක්‍ෂක හමුදා ප්‍රධානී උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගෙන ප්‍රධාන පීඨිකාව වෙත කැටුව යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භටපිරිස්ගෙන් සැදුම්ලත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ ප්‍රධාන දොරටුව අභියසදී, හමුදා ලේකම් මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැටුව යන ලදී. ඉන් අනතුරුව, එහිදී සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණයට’ සහභාගී වූ මාලදිවයින් ආරක්‍ෂක හමුදා ප්‍රධානිට ස්තූතිය පුද කළ අතර කලාපීය හා ද්විපාර්ශ්වික වැදගත්කම පිළිබඳ කරුණු කිහිපයක් සාකච්ඡා කළේය. තවද, මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලාංකික හා මාලදිවයින් සන්නද්ධ හමුදාවන් අතර සුහදත්වය හා සහයෝගීතාව පවත්වා ගැනීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.

යුද්ධ හමුදාධිපතිතුමන් මෙම සුහද හමුව අවසානයේ, මාලදිවයින් ආරක්‍ෂක හමුදා ප්‍රධානී වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ප්‍රදානය කළේය. යුද්ධ හමුදාධිපති කාර්යාලයෙන් නික්මයාමට පෙර මේජර් ජෙනරාල් අබ්දුල්ලා ෂමාල් (Major General Abdulla Shamaal) විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති මෙම සුහද හමුව සඳහා මාලදිවයින හමුදාවේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරීයෙකු ද සහභාගි විය. Sportswear Design | シューズ