Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th May 2020 18:31:12 Hours

මාතෘභූමියට සහ යුද්ධ හමුදාවට විශිෂ්ඨ සේවයක් ඉටුකර යුද්ධ හමුදා දිවියෙන් සමුගන්නා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

වසර 36 කට අධික කාලයක් යුද්ධ හමුදාවේ ධෛර්යසම්පන්න සහ නිර්භිත නායකත්වයක් හෙබවූ සත්‍යප්‍රිය ලියනගේ නමින් වඩාත් ප්‍රචලිත නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනිමට නියමිත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එස්.ඩි.ටී. ලියනගේ ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින, දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක - 19 හි සිය සහෘදයා වන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

වර්ෂ 1984 මාර්තු මස 5 වන දින යුද්ධ හමුදාවට බැඳුනු මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල සිය අතීත මතකයන් සිහිපත් කරනු ලැබූ අතර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද පිටියේදී මුහුණදුන් අත්දැකීම්, මානුෂීය මෙහෙයුම්වලදී සතුරාට එරෙහිව සිදුකරන ලද දැවැන්ත ක්‍රියාන්විත සහ යුද්ධ හමුදාවේ සංවර්ධනය උදෙසා දැක්වූ කැපවීම පිළිබඳ මතකයන් සිහිපත් කරනු ලැබීය. යුද්ධ හමුදාව තුළ මෙතෙක් බිහි වූ ඉතාමත් ගෞරවනීය ජ්‍යෙෂ්ඨ යුධ ප්‍රවීණයෙකු වන මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ කාර්ය සාධක බළකා 3ක් ස්ථාපිත කර මානුෂීය මෙහෙයුම අවසන්වන තෙක් එම කාර්ය සාධක බළකායන්ට අණ දුන්නේය. ඉන් අනතුරුව, එතුමන් පිළිවෙලින් 52, 55 සේනාංක සහ 64 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් සේවය කරනු ලැබීය.

යුද්ධ හමුදා දිවියෙන් නික්ම යන මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ රටේ ජනජිවිතයට අවධානමට ලක්ව ඇති කාලසීමාවක රට වෙනුවෙන් සිදුකල කැපවීම පිළිබඳ කෘතඥතාවය පලකළ යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන්ගේ අනාගත කටයුතු සඳහා සුබපැතුම් ද එක් කළේය. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපලගේ මිත්‍රත්වය වර්ධනය කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් විශේෂ සමරු තිළිණයක් සහ ත්‍යාග කිහිපයක්ද නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත ප්‍රදානය කරනු ලැබීය. කොවිඩ් - 19 වෛරසය පැතිරයාම වළක්වා රට යථා තත්වයට පත් වූ වහාම එතුමන් වෙනුවෙන් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සමුගැනීමේ උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කරන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි සහතික විය. මෙම සුහද හමුව අවසානයේදී, නික්ම යන ‍ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය යුද්ධ හමුදා දිවිය තුලදී දැක්වූ සහයෝගය සහ සහෝදරත්වය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ට සිය ස්තූතිවන්ත පුද කළේය.

කැඩෙට් නිලධාරි පාඨමාලා අංක - 19 යටතේ යුද්ධ හමුදාවට එක්වී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගන්නා අවසන් ජ්‍යෙෂ්ඨ නිලධාරියා වන මේජර් ජෙනරාල් ලියනගේ යුධ පිටියේ දී දැක්වූ නිර්භීතකම වෙනුවෙන් වීර වික්‍රම විභූෂණය (WWV) සහ රණ වික්‍රම පදක්කම (RWP) ඇතුළු අතිවිශිෂ්ට සම්මාන රැසක් හිමිගන්වා ඇත. තවද, එතුමන් යුද්ධ හමුදාවට කළ සේවය අගයමින් පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, රිවී රැස සේවා පදක්කම, 50 වන නිදහස් සංවත්සරය සැමරීම පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම සහ උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම හිමිගන්වා ඇත.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ යුද්ධ හමුදා මූලස්ථානයේ කර්නල් හමුදා ලේකම්, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ ක්‍රියාන්විත සහ සැලසුම් අධ්‍යක්‍ෂ ජෙනරාල්, ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී සහ යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ඇතුළු මාණ්ඩලික නිලධාරී තනතුරු රැසක් හොබවා ඇත. එතුමන් මේ දක්වා හදාරා ඇති පාඨමාලා අතර තරුණ නිලධාරී පාඨමාලාව, ඉන්දියාවේ උපදේශක පාඨමාලාව සහ ජ්‍යෙෂ්ඨ අණදීමේ පාඨමාලාව, පකිස්තානයේ මධ්‍යම වෘත්තීය නිලධාරී පාඨමාලාව, බංගලාදේශයේ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාව, ඇමරිකා එක්සත් ජනපදයේ සන්නද්ධ නිලධාරී උසස් පාඨමාලාව සහ ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක විද්‍යාල පාඨමාලාව ද වේ. එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ 4 වන සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී, ත්‍රිකුණාමලයේ නගර අණදෙන නිලධාරී, 523 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති සහ 55 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු අණදීමේ තනතුරු රැසක් හොබවා ඇත.

මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ කීර්තිමත් හමුදා වෘත්තියට අමතරව, ඉන්දියාවේ ආරක්‍ෂක කළමනාකරණ උපාධියක් සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනයේ විදේශ කටයුතු පිළිබඳ ඩිප්ලෝමාවක් ද සාර්ථකව හදාරා ඇත. එතුමන් ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයේ සිය ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ පළමු පන්තිය ලබාගෙන ඇත. එමෙන්ම, වොෂිංටන් හි පිහිටි දකුණු ආසියා මූලෝපායික අධ්‍යයන මධ්‍යස්ථානයේ පැවති ‘පද්ධති ප්‍රතිසංස්කරණ අභියෝග සහ අවස්ථාවන්’ පිළිබඳ විධායක සම්මන්ත්‍රණයට සහභාගී වී ඇති එතුමන් මාලදිවයිනේ පැවති ‘ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩ අන්තවාදය’ පිළිබඳ සම්මන්ත්‍රණයට ද සහභාගී වී ඇත.

කොළඹ, තර්ස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ආදීශිෂ්‍යයෙකු වන මේජර් ජෙනරාල් ලියනගේ විශේෂයෙන්ම පාසලේ ක්‍රිකට්, රග්බි පාපන්දු, මළල ක්‍රීඩා යන ක්‍රීඩා ක්‍ෂේත්‍රයන්හි මෙන්ම ශිෂ්‍යභට ඛණ්ඩායමේ ද දක්‍ෂතා පෙන්නුම් කළේය. රග්බි පාපන්දු හා ක්‍රිකට් ක්‍රීඩා ක්‍ෂේත්‍රයට දැක්වූ දායකත්වය අගයමින් එතුමන් සඳහා විද්‍යාලීය වර්ණ ප්‍රදානය කෙරිණි. පාසල් අධ්‍යාපනය සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව එතුමන් වර්ෂ 1984 මාර්තු 04 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට එක්වී කෙඩෙට් නිලධාරීයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් මූලික හමුදා පුහුණුව සාර්ථකව අවසන් කර වර්ෂ 1985 නොවැම්බර් 16 වන දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරීයට පත්ව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 1 වන විමර්ශන රෙජිමේන්තුව වෙත ඇතුලත් කරන ලදී. url clone | Hats to Match Jordans Hyper Royal Bulls Hat