Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2023 19:24:29 Hours

පොල්හේන්ගොඩ, පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය ප්‍රථිස්ථාපනය කරයි

යුද්ධ හමුදාව තුළ දැනට සිදුකරමින් පවතින ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය යුද්ධ හමුදා විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලය යටතේ හමුදා සම්ප්‍රදායානුකූල රාජකාරිවල යෙදවීම සඳහා ප්‍රථිස්ථාපනය කිරීම පොල්හේන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 30) දින සිදුකෙරිණි.

2009 වසරේ දෙසැම්බර් මස 28 දින ස්ථාපිත කරනු ලැබූ 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිතව තිබූ 1 බලකාය, 57 සහ 66 පාබල සේනාංකයන් සඳහා විනයාරක්‍ෂක රාජකාරි සිදුකිරීමට අවශ්‍ය සහය අඛණ්ඩව ලබාදෙනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ උපදෙස් මත පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 01) දින මෙම උත්සවය පැවැත්විණි.

5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් ඩී.ජී.අයි.පී ගොම්බරගේ යූඑස්පී පීඑස්සී එල්එස්සී විසින් ඒකකය ප්‍රථිස්ථාපනය කිරීමේ අවස්ථාව සංකේතවත් කරමින් සියලුම නිලධාරීන් සහ සෙසුනිලයන් ඉදිරියේ ඒකක ධජය ඔසවා රාජකාරී ආරම්භ කරන ලදී. අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී සමූහ ඡායාරූපයක් ද ගනු ලැබීය.

යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුමන් විසින් සමාරම්භක දේශනය පැවැත්වීමෙන් අනතුරුව පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්විණී. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී අමුත්තන් සඳහා වූ සමරු පොතෙහි සටහනක්ද තැබීය.

මෙම උත්සව අවස්ථාවට පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.