Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th March 2020 18:04:34 Hours

පැරෂුට් සංදර්ශන, සටන් නිදසුන් හා ආකර්ෂණික අභිමානය කැටිකොටගත් ‘Commando Footslog’ කමාන්ඩෝ රෙජිමේන්තුවේ 40 වන සංවත්සරය අභිමානවත් අයුරින් ගාලු මුවදොරදී අවසන්විණි

‘Commando Footslog 2020’ කමාන්ඩෝ රෙජිමේන්තුවේ 40 වන සංවත්සරයට සමගාමීව ඉරිඳා (8) අද දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ කමාන්ඩෝ භටයින් සියගනනකට ආසන්න කණ්ඩායමක් සමඟින් බම්බලපිටිය මංසන්දියේ සිට අභිමානවත් පෙරහැරකින් අති විශාල ප්‍රේක්ෂකයන් පිරිසකගේ අශීර්වාදයන් මධ්‍යයේ ගාලුමුවදොර පිටිය වෙත පැමිණියහ. එහිදි එම ප්‍රේක්ෂකයන් ඉදිරියේ විශ්මයජනක අයුරින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළුන්ගේ හැකියාවන් ප්‍රදර්ශණය කිරිමටද ඔවුන් කටයුතු කළහ. මෙම කූටප්ප්‍රාප්තියට ප්‍රථම දිවයිනේ ප්‍රධාන නගර තුනක් වන මහනුවර, හලාවත සහ ගාල්ල යන නගර තුන ආවරණය වන පරිද්දෙන් කමාන්ඩෝ සෙබළුන්ගෙන් සමන්විත කණ්ඩායම් මෙම සංවත්සර දිනට සමඟාමීව විශාල ප්‍රේක්ෂකයන් පිරිසකගේ අශීර්වාදයන් මධ්‍යයේ දිවයින හරහා සැතපුම් සියගණනනක් තම දෙපයින් පසු කරමින් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණිමද තවත් විශේෂිත සිදුවීමක් ලෙස 07 දින සනිටුහන් විය.

ගාලුමුවදොර පිටියේ පැවති මෙම උත්කර්ෂවත් අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මිය සහභාගී වූ අතර 57 වන සේනාංකයේ සේනාංකාධිපති මෙන්ම කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් බී.ඒ.පී. සිල්වා විසින් එම අවස්ථාවට සපැමිණි ඔවුන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.

මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැඟවුණු වෙඩික්කරුවන්, ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ කණ්ඩායම්, ප්‍රභූ ආරක්ෂණ කණ්ඩායම්, සටන් කිමිදුම්කරුවන්, සහ ගුවන් පැරෂුටි කණ්ඩායම් විසින් සංකේතාත්මක අයුරින් ඔවුන්ට නියමිත භූමිකාවන් ඉතා අභිමානවත් අයුරින් නිරූපනය කරමින් ප්‍රධාන වේදිකාව වෙත කැටුව යනු ලැබීය.

අනතුරුව කමාන්ඩෝ රෙජිමේන්තුවේ තේමා ගීතය ගායනා කරමින් එදිනට නියමිත වැඩසටහනට සමාරම්භයක් එක් කළේය. අනතුරුව ලක්දෙරණ එක්සේසත් කිරිම වෙනුවෙන් යුද වැදී රටදැය වෙනුවෙන් දිවිපිදු නිලධාරීන් 43 ක් සහ යුද්ධ හමුදා සාමාජකියන් 689 දෙනෙකුන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත් වූහ. පසුව කමාන්ඩෝ රෙජිමේන්තුව වසර 40 ක ඉතිහාසය තුළ මව්බිම වෙනුවෙන් සිදු කළ සුවිශේෂී දායකත්වය සහ එහි සන්ධිස්ථාන මෙන්ම ජයග්‍රහණයන් පිළිබඳ විස්තර ඇතුලත් සවිස්තරාත්මක වාර්ථාවක් ඇතුලත් සමරුකලඹ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වනු ලැබීය.

මෙම අවස්ථාව වර්ණවත් කරමින් කමාන්ඩෝ භටයින්ගේ සුවිශේෂී කුසලතා, නොපසුබට උත්සහය, ධෛර්ය සහ අධිෂ්ඨානය පිළිබිඹු කරමින් ප්‍රාණ ඇපකරුවන් නිරුපද්‍රිතව නිදහස් කර ගැනීම සඳහා ඉතා සූක්‍ෂම පුහුණු මෙහෙයුමක් දියත් කිරීම, නගරබද සටන් ශිල්පීය ක්‍රම, හෙලිකොප්ටරයක සිට කේබල් ආධාරයෙන් ආදාල ස්ථානයන්ට ලඟාවීම සහ කිමිදුම් සටන් කුසලතාවයන්, ස්නයිපර් කුසලතා සහ හෙලි රුප්‍රලින් ශිල්පීය ක්‍රම සහ නිරායුධ සටන් ක්‍රම ඇතුලත් මනා සංදර්ශනයන් ඉදිරිපත් කරමින් රැස්ව සිටි ප්‍රේක්‍ෂකයින් පිරිස අමන්දානන්දයට පත් කළේය. තවද කමාන්ඩෝ රෙජිමේන්තුවේ තූර්ය වාදක කන්ඩායමේ තනු නිර්මාණයට විනෝදාත්මක අංගයන් ද ඉදිරිපත් වු අතර එම අවස්ථාවේ සිදුකළ ඉදිරිපත් කිරීම් සම්බන්ධ පැහැදිලි කිරිමක් කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති විසින් සිදු කරනු ලැබීය.

මෙම අවස්ථාව තවත් වර්ණවත් කරමින් කමාන්ඩෝ සුනඛයින්ගේ සංදර්ශනයක්ද ඉහල ප්‍රේක්‍ෂක ප්‍රතිචාර මධ්‍යයේ ඉදිරිපත් කළ අතර එයට තවත් විශේෂත්වයක් එක්කරමින් කමාන්ඩෝ භටයින්ගේ පුහුණුවෙන් ලද දක්‍ෂතාවයන් පිළිඹිබු කරමින් ශ්‍රැංගිලා හෝටලයේ ඉහල මාලයේ සිට කේබල් ආධාරයෙන් පහලට බැසීමේ බිහිසුණු සංදර්ශනයක් ද ඉදිරිපත් කළේ පැමිණි පිරිසට ත්‍රාසජනක අත්දැකිමක් ලබාදෙමිනි.

ඉන් අනතුරුව ‘නොහැක්කක් නොමැත’ ආදර්ශ පාඨයට අභිමානයක් එක්කරමින් කමාන්ඩෝ සෙබළුන්ටම ආවේනික උපක්‍රම හා කුසලතා උපයෝගී කරගනිමින් හදිසි මෙහෙයුම් සඳහා එම්අයි 17 හෙලිකොප්ටර් යානයක් මගින් අදාළ ස්ථානයන්ට ලගාවීම සහ දියඹේ සිට කුඩා යාත්‍රා භාවිතා කරමින් මෙහෙයුම් සඳහා ක්‍ෂණිකව ක්‍රියාත්මක වීම වැනී අභිමානවත් කුසලතා ප්‍රදර්ශනය කරන ලදී. එම සංදර්ශනයේ අවසානයේ අති දක්‍ෂ පැරෂුට් කරුවන් 19 දෙනෙකු උස අඩි 10000 ක ඉහළ අහසේ සිට ගුවන් යානයන්ගෙන් නික්මි, අඩි 3000 ක් දක්වා නිදහසේ පාවෙමින් අඩි 3000 කදී තම පැරෂුටය විවර කොට ගුවනෙහි රටා මැවු අතර ඉතා ආරක්‍ෂාකාරීව ගාලු මෝදර පිටියට පතිතවු ඔවුන් යුද්ධ හමුදාධිපතිතුමන්ට ආචාර කොට නික්ම යන ලදී.

මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනාරත්න සහ කර්නල් විජිත හෙට්ටිආරච්චි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එම වර්නවත් පැරෂුට් සංදර්ශණය ඉදිරිපත් කළ විරුවන් අතර විය. දවසේ වැඩසටහන අවසානයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති විසින් සමරු තිළිණයක් පිරිනැමීය. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සමග ඔවුන් සමූහ ඡායාරූපයකට ද එක්විය. දිනයේ අවසන් අංගය ලෙස එදින සන්ධ්‍යාව වඩාත් වර්ණවත් කරමින් (Maroon Nights) සංගීත ප්‍රසංගය කලාකරුවන්ගේ හා ගායන ශිල්පීන්ගේ ගායනයන් රිද්මයානුකූලව හා වර්ණවත්ව වේදිකාව සරසන ලදී.

කමාන්ඩෝ භටයින්ගේ ධෛර්යයට තවත් ගෞරවයක් හා මතකයක් එක් කරමින් කමාන්ඩෝ විරුවන් පිළිබඳ රචනා වූ නව ගීතයක් ද එදින සනධ්‍යාවේ එළිදැක්විම මෙම දිනයෙහි සිදුවු තවත් විශේෂිත කර්ත්‍යවයකි.

යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කමාන්ඩෝ රෙජිමේන්තු සභා සාමාජිකයින් සහ තවත් සිය ගණනක් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ. Nike shoes | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth