Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2022 06:33:12 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් චන්දන විජයසුන්දරගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ජී.සී.එස්.බී විජයසුන්දර ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ සිය පවුලේ සාමාජිකයන් සමගින් ඉකුත් බදාදා (23) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ආරාධනයෙන් නුදුරේදි විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය පවුලේ සාමාජිකයින් සමග යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත පැමිණ තිබිණි.

මෙම හමුවේදී ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ජී.සී.එස්.බී විජයසුන්දර ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ වෙත සිය සුභාශිංසනයන් එක්කල අතර, යුද්ධ හමුදාව වෙනුවෙන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිදුකරනු ලැබූ අමිල මෙහෙවර ඇගයීමටද ලක්කරන ලදී. තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු අංශයේ ප්‍රගතිය සඳහා දැක්වූ දායකත්වය සහ යුද්ධ හමුදාව වෙත පැවරී ඇති ජාතිය ගොඩනැගීමේ කාර්යයන් සහ එතුමන්ගේ වෘත්තීය භූමිකාවන් පිළිබඳව ද සිහිපත් කළේය. එමෙන්ම ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය තනතුරේ රාජකාරි ඉටුකිරිමේදී යාපනය අර්ධද්වීපයේ දියත්කරනු ලැබු ප්‍රජාමූලික ව්‍යාපෘති පිළිබඳව ද සිය ප්‍රසාදය පළ කළේය.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ජී.සී.එස්.බී විජයසුන්දර ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී මෙන්ම අවසන් වශයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය තනතුරේ රාජකාරි ඉටුකිරිමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මඟපෙන්වීම, උපදෙස්, දිරිගැන්වීම් සහ සුබපැතුම් වෙනුවෙන්ද සිය ස්තූතීය පුදකරන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මෙම අවස්ථාව සඳහා සහභාගී වූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ජී.සී.එස්.බී විජයසුන්දර ගේ පවුලේ සාමාජිකයන් සමඟින්ද අදහස් හුවමාරු කරගන්නා ලදී. එහිදි මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි මාතෘභූමිය ආරක්‍ෂා කිරීම සඳහා දියත්කරනු ලැබු ක්‍රියාන්විතයන්හී නිරතව සිටින අතරවාරයේ විශේෂයෙන් අභියෝගාත්මක කාලපරිච්ඡේදවලදී මෙන්ම, ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවා කාලය පුරාවටම ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔහුට ලබාදුන් සහය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක්කළ අතර, එතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන්ද සිය සුභාශිංෂනයන් එක්කළේය.

මෙම සුහඳ හමුව අවසානයේදී ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

වර්ෂ 1987 ජූලි මස 20 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුනු මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ජී.සී.එස්.බී විජයසුන්දර ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 28 යටතේ මූලික පුහුණුව සාර්ථකව නිමකිරීමෙන් පසුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත අනුයුක්ත කරනු ලැබු මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි, ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2020 ඔක්තෝම්බර් මස 16 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට එළඹීමට නියමිත එතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ධූරය හෙබවූවේය. මීට ප්‍රථම එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ භටපිරිස් අණදෙන නිලධාරි, විධායක නිලධාරි, පාඨමාලා භාර නිලධාරි, 53 වන බලඝනයේ අණදෙන නිලධාරි, 532 පාබල බලසේනාවේ බලසේනා මේජර්, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මාණ්ඩලික නිලධාරි II, දෙවන අණදෙන නිලධාරි, අතිරේක ඛණ්ඩයම්භාර නිලධාරි, එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මධ්‍යස්ථානය - හයිටි, 51 සේනාංකයේ මාණ්ඩලික නිලධාරි I (මෙහෙයුම්), 11 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ - කර්නල් ජනමාධ්‍ය, ලායා ලෙෂර් - කුකුලේගඟ ප්‍රධාන විධායක නිලධාරි, 592 බලසේනාවේ බලසේනාධිපති, ජාතිය ගොඩනැගීමේ කාර්ය සාධක බලකායේ ආඥාපති, යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මාණ්ඩලික, ඉංජිනේරු සේනාංකයේ ආඥාපති, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති වැනි ධූරයන් හොබවා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කීර්තීමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ ඒකක පරිපාලන පාඨමාලාව සහ ජ්‍යෙෂ්ඨ යුධෝපක්‍රම සහ කළමනාකරණ පාඨමාලාව, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - පකිස්ථානය, ඉංජිනේරු නිලධාරින්ගේ භූමී කැනීම් යාන්ත්‍රික හා ඉදිකිරීම් පාඨමාලාව - ඉන්දියාව, මානුෂීය බිම්වෙඩි ඉවත් කිරිමේ පාඨමාලාව - ස්විට්සර්ලන්තය, ජ්‍යෙෂ්ඨ අණදෙන පාඨමාලාව - ඉන්දියාව, ආරක්‍ෂක කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව - ඉන්දියාව සහ ආරක්‍ෂක සහ උපාය මාර්ගික පාඨමාලාව - ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය, චීනය යන පාඨමාලා සාර්ථකව හදාරා ඇත.

2009 මැයි මාසයට පෙර ත්‍රස්තවාදයට එරෙහිව දියත්කරනු ලැබු මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතභාවය හේතුවෙන් එතුමන් වෙත රණ ශූර පදක්කම ප්‍රදානය කරනු ලැබීය.