31st August 2023 12:43:06 Hours
බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු වෙනුවෙන් සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කරනු ලැබූ දීඝවාපිය පුදබිමේ තැන්පත් කිරීමට නියමිත සර්වඥ ධාතු සහ චූඩා මාණික්‍යය දීපව්‍යාප්ත ජංගම ප්‍රදර්ශනය කිරීමේ පුණ්‍ය වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 29) දින සන්ධ්‍යාවේ කැළණිය රජමහා විහරස්ථානයේදී එම ධාතූ ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.
මෙම පුණ්‍ය අවස්ථාව සඳහා සම්භාවනීය ආරාධිතයින් ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩීයූ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් සහභාගී වූහ.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් වර්ණවත් පෙරහැරකින් සධාතුක කරඬුව රැගත් ‘රන්සිව්ගෙය’ කැළණිය පොලිස් ස්ථාන පරිශ්‍රයෙන් ආරම්භ වී කැළණිය රජමහා විහාරස්ථාන පරිශ්‍රය දෙසට ගමන් ආරම්භ කෙරිණි. එම පෙරහැර විහාරස්ථාන පරිශ්‍රය වෙත පැමිණීමෙන් අනතුරුව මෙම උත්සවයේ වැදගත්කම සහ පූජනීය දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමන් විසින් සැදැහැවතුන් සහ සම්භාවනීය ආරාධිතයින් හමුවේ කෙටි හැඳින්වීමක් සිදුකෙරිණි.
නොබෝ දිනකින් දීඝවාපි විහාරස්ථාන පුදබිමේ තැන්පත් කිරීමට නියමිත සර්වඥ ධාතු සහ චූඩා මාණික්‍යය වෙත පිරිත් සජ්ඣායනය කිරීම සහ ධාතූන් වහන්සේලා වෙත ගිලන්පස පූජාකිරීම ඉන් අනතුරුව සිදුකෙරිණි.
ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් සර්වඥ ධාතූන් වහන්සේ සහ චූඩාමාණික්‍යය මහජනතාවට ප්‍රදර්ශනය කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුව ආරාධිතයන් සහ සැදැහැවතුන් එම සර්වඥ ධාතූන් වහන්සේලාට සහ චූඩාමාණික්‍යය වෙත පුදපූජා සිදුකළහ.
පෞරාණික දීඝවාපිය චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීම ආරක්ෂක අමාත්‍යාංශයේ සහ අදාළ බලධාරීන්ගේ උපදෙස් මත යුද්ධ, නාවික හා ගුවන් හමුදා සාමාජිකයන්, පොලිස් නිලධාරින් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය මත සිදුකෙරිණි.