Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th March 2019 14:34:30 Hours

දිවයින පුරා යුද්ධ හමුදා කඳවුරුවල ‘ත්‍රිපිටකාභිවන්දනා’ ලෝක උරුම බෞද්ධ ආගමික වැඩසටහන්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත ‘ත්‍රිපිටකාභිවන්දනා’ ලෝක උරුම බෞද්ධ වැඩසටහන වෙනුවෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකම යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දැක්වූ දායකත්වය තවදුරටත් පුළුල් කරමින් සතියක කාලයක් පුරා පැවැත්වෙන මෙම මහඟු පිංකමට සහයෝගය ලබාදෙනු ඇත. තවද මෙම උතුම් පිංකමේ ප්‍රධානතම උත්සවය ඉරිදා (23) දින ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මෙයින් සියවස් විසිහයකට පෙර භාරතයේ දී දේශනා කර වදාළ, මීට සියවස් ගණනාවකට පෙර මාතලේ අලුවිහාරයේ දී තල් කොළවල ලේඛණගත කර ගරුතර සඟරුවන විසින් දිවි හිමියෙන් රැකගෙන අප වෙත දායද කල ‘ත්‍රිපිටකය’ ශ්‍රී සද්ධර්මය ලෝක උරුමයක් සේ ගෞරවයෙන් හා අභිමානයෙන් යුක්තව රැකගත යුතුය. එම කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත ‘ත්‍රිපිටකය’ වර්තමාන ලෝක උරුමයක් බවට පාත්‍ර කිරීමේ මහඟු පිංකම සිදු කිරීමට නියමිතව ඇත.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ එක්ව පසුගිය සෙනසුරාදා (16) දින තම්බලගමුව ප්‍රදේශයේ ‘පිණ්ඩපාත’ වැඩමකල භික්ෂූන් වහන්සේලා හට දානය පිළිගැන්වීමේ උතුම් පිංකමක් සිදුකරනු ලැබීය. 22 වන සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (සම්බන්ධිකරණ) ගේ සහයෝගය ඇතිව නිලධාරින් 2 සහ සෙසුනිලයින් 28 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම මහඟු පිංකම සිදුකළහ.

එම වැඩසටහනේ දෙවැනි අදියර ලෙස සඳුදා (18) දින මොල්ලිපොතාන සිංහල මහා විද්‍යාලයේ දී විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වූ අතර යුද්ධ හමුදා සාමාජිකයින් 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වූහ. එම පිංකමේ දී ‘ත්‍රිපිටකයේ’ වැදගත්කම පිළිබඳව ඔවුන්ට දේශනා කළහ.

මේ අතර, 22 වන සේනාංකයේ සහ 221 වන බලසේනාවේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා සමාජිකයින් 100 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ත්‍රිකුණාමලය පොලීසියේ නිලධාරීන් සමඟ එක්ව ත්‍රිකුණාමල නගරය වෙත පාගමනින් වැඩම කල භික්‍ෂූන් වහන්සේලා හට දානය පිළිගැන්විය.

එමෙන්ම, වැලින්න පූරාණ රජමහා විහාරයේ වැඩවාසී භික්ෂූන් වහන්සේලා 50 නමක් වෙනුවෙන් කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් පිණ්ඩපාත පිංකමක් සංවිධානය කර තිබු අතර මෙම මහඟු පිංකම සඳහා 222 බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සිය සහයෝගය ලබාදුන්හ.

තවද, මුතූර් සිංහල මහා විද්‍යාලයේ සිට මුතූර් උතුරුගිරි විහාරය දක්වා මනරම් පෙරහැරකින් ‘පිරුවානා පොත් වහන්සේ’ වැඩම කරවීමේ තවත් පිංකමක් මුතූර්හි පිහිටි 224 වන බලසේනාව සහ 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පවත්වනු ලැබීය. එසේම, ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයින් 15 දෙනෙකු පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව ජයපූර ශ්‍රී විමලාරාමයේ සිට තඹලගමුවේ පිහිටි ශ්‍රී විජයවර්ධනාරාමය දක්වා ‘පිණ්ඩපාත’ පිංකමක් සංවිධානය කල අතර ‘පිණ්ඩපාත’ වැඩම කල බෞද්ධ භික්ෂූන් වහන්සේලා 10 නමකට දානය පූජා කළහ.

මේ අතර, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සෙනසුරාදා (18) දින වැලිකන්ද පොලිස් ස්ථානය සමඟ එක්ව සෙවනපිටියේ පිහිටි සාම විහාරයේ මහා සංඝරත්නය වෙනුවෙන් ‘පිණ්ඩපාත’ පිංකමක් සංවිධානය කරන ලදී.

‘ත්‍රිපිටකාභිවන්දනා’ ලෝක උරුම බෞද්ධ ආගමික වැඩසටහනට සමගාමීව කෝපායි පිහිටි 51 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් යාපනය දිස්ත්‍රික්කය බෞද්ධ කොඩිවලින් වර්ණවත් ලෙස අලංකාරවත් කරන ලදී.

තවද, 512 වන බලසේනාව යටතේ ස්ථාපිත 17 වන ගැමුණු හේවා බලඇණියේ සහ 14 වන ගජබා රෙජිමෙන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව යාපනය ප්‍රදේශය බෞද්ධ කොඩි වලින් සැරසිලි කර ඇත.

මේ අතර, 515 වන බලසේනා මුලස්ථානය, 10 වන කාලතුවක්කු හමුදාව සහ 2 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් එක්ව මෙම ජාතික උත්සවයට සමගාමීව එම කඳවුරු විචිත්‍රවත් ලෙස බෞද්ධ කොඩි සරසන ලදී. තවද, 17 වන ගැමුණු හේවා බළඇණියේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සෙනසුරාදා (17) දින සන්ධ්‍යාවේ එම කඳවූරු පරිශ්‍රයේ පිහිටි විහාරස්ථානයේ දි බෝධි පූජා පිංකමක් පවත්වා 'ආලෝකා උදපාදී' බෞද්ධ සිංහල සිනමා පටය ද පෙන්වීය.

තවද, මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 593 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් එම කඳවුරු පරිශ්‍රය බෞද්ධ කොඩිවලින් හා කලාත්මක නිර්මාණවලින් සරසන ලදී.

මේ අතර, පුනරීන්හි පිහිටි 66 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ ද බෞද්ධ කොඩි වලින් සරසා මෙම ජාතික ව්‍යාපෘතියට දායකවිය.

තවද, පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ පිහිටි 4 වන ඉංජිනේරු සේවා බලකා මූලස්ථාන පරිශ්‍රයේ ද විචිත්‍රවත් අයුරින් බෞද්ධ ධජයන් ඔසවා වර්ණවත් ලෙස සරසන ලදී.

මේ අතර, මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ගම්පොළ ප්‍රදේශයේ පිහිටි 111 වන සේනාංක පරිශ්‍රයේ ද මෙම මහඟු අවස්ථාවට සමගාමීව බෞද්ධ කොඩිවලින් වර්ණවත් ලෙස සැරසිලි කරන ලදි. spy offers | Men’s shoes