Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th May 2017 16:33:44 Hours

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ගංවතුරෙන් විපතට පත්වුවන් ගලවාගැනීමේ සහ සහන මෙහෙයුම්වල නිරතවේ

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ අදාල ප්‍රදේශයන්හි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සම්බන්ධිකරණයෙන් සිකුරාදා (26) උදෑසන යුද්ධ හමුදා භට පිරිස් 300 ක් සහ නාවික හමුදාවේ ගලවා ගැනීමේ කණ්ඩායම් 13 ක් සමඟින් ගුවන් හමුදා පිරික්සුම් කණ්ඩායම් ගංවතුරින් පීඩාවට පත් වීරකැටිය, නෙළුව, මොරවක, දෙයියන්දර, පාදුක්ක, බුලත්සිංහල, කලවාන, වැල්ලම්පිටිය, පාලින්දනුවර සහ බෙලිඅත්ත යන ප්‍රදේශයන්හි ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම්වල නිරතව සිටියි.

අධික වර්ෂාව හේතුවෙන් ගත වූ පැය 72 ක කාලය තුල දී ගංවතුර මට්ටම ඉහළයාම හේතුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ උපදෙස් මත බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් මෙම සහන මෙහෙයුම් සඳහා භට පිරිස් යොදවනු ලැබීය.

සිකුරාදා (26) දින උදෑසන නිලධාරීන් 05 දෙනෙකු සහ සෙබලුන් 80 දෙනෙකු BTR සන්නද්ධ රථ 06 ක් සමඟින් බුලත්සිංහල ප්‍රදේශයේ නායයාමට ලක්විය හැකි ප්‍රදේශයන් වෙත ක්ෂණිකව යොවනු ලැබීය.

බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සමඟින් 58 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු විසින් දැනට පවතින ආපදා තත්වයන් පිළිබඳව විමසිලිමත්ව නිරික්ෂණය කරනු ලබන අතර, අවශ්‍යතාවය මත භට පිරිස් සහන කටයුතු සඳහා යෙදවීමට කටයුතු කරනු ලබයි.

අද (26) උදෑසන වන විට එම ප්‍රදේශවල යුද හමුදාව භට පිරිස් පහත සඳහන් පරිදි යොදවා ඇත ;

වීරකැටිය - 21

පාදුක්ක - 22

නෙළුව - 32

බුලත්සිංහල - 85

මොරවක - 21

දෙයියන්දර - 16

එමෙන්ම, නාවික හමුදාවේ ගලවාගැනීමේ කණ්ඩායම් කලවාන, වැල්ලම්පිටිය, බුලත්සිංහල, පාලින්දනුවර, පාදුක්ක, නෙළුව, මොරවක, කඹුරුපිටිය සහ බෙලිඅත්ත ප්‍රදේශ යන ප්‍රදේශවල අනෙකුත් හමුදාවන් සහ සිවිල් වැසියන් සමඟ එක්ව ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම්වල නිරතව සිටියි.

එසේම, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් හතරක් සුදානමින් තබා ඇති අතර, මේ වන විට ඉන් එක් හෙලිකොප්ටරයක් නෙළුව ප්‍රදේශයේ පිරික්සුම් රාජකාරි කටයුතු සඳහා යොදවා ඇත.

කළු ගඟේ සහ ගිං ගඟේ ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරන අතර, නායයෑම් හා විපත් මෙන්ම අවදානමක් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අනතුරු ඇගවීම ද සිදු කර ඇත.

Best Nike Sneakers | Women's Nike Air Max 270 trainers - Latest Releases