Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th August 2022 18:30:44 Hours

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ පැවති ‘ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලා අංක - 01’ හදාරන ශිෂ්‍ය නිලධාරින් ඇමතීමට යුද්ධ හමුදාධිපතිතුමන්ට ඇරයුම්

ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරින් හට ආරක්‍ෂක අධ්‍යයන කටයුතු සඳහා ජාත්‍යන්තර වැදගත්කමකින් යුත් කොළඹ 3 පිහිටි ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ‘ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලා අංක - 01’ හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරින් වෙනුවෙන් සම්ප්‍රදායානුකූලව පවත්වනු ලබන ‘හමුදාධිපති දේශනය’ පැවැත්වීම සඳහා අද (10) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත ආරාධනා ලැබුණි.

‘ජාතික ආරක්‍ෂාව පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දායකත්වය’ තේමාව ඔස්සේ පැවති මෙම දේශනයේදී, වත්මන් ආරක්‍ෂක අභියෝග සහ ඉදිරි ආරක්‍ෂක අභියෝග සහ ආරක්‍ෂාව හා සබැඳි ගැටලු හා තර්ජනවල විවිධත්වය ආදී කරුණු පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් පැහැදිළි කළ අතර, ශිෂ්‍ය නිලධාරින් සතු ගැටලු ඉදිරිපත් කර විසඳුම් සාකච්ඡා කිරීමටද එහිදී අවස්ථාව ලැබිණි.

යුද්ධ හමුදා නිලධාරින් 14 දෙනෙක්, නාවික හමුදා නිලධාරින් 7 දෙනෙක්, ගුවන් හමුදා නිලධාරින් 6 දෙනෙක් සහ පොලිස් නිලධාරින් 4 දෙනෙකු ‘ජාතික ආරක්‍ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන පාඨමාලා අංක - 01’ හදාරනු ලබයි.

ජාතික ආරක්‍ෂක විද්‍යාලය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් එම විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් අමල් කරුණාසේකර විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක කොමදෝරු ඩබ්ලිව්.එම්.ඒ. බෝවත්ත විසින් ආරාධිත දේශකයා පිළිබඳ හඳුන්වාදීමේ දේශනය සිදුකරන ලදී. මෙම දේශනය සමාප්තියේ යුද්ධ හමුදාධිපතිතුමන් සියළුම ශිෂ්‍ය නිලධාරීන් වෙත සිය සුභාශිංසන එක්කරන ලදී. ඉන් අනතුරුව, ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායකතුමන් වෙත සමරු තිළිණයක් සහ ග්‍රන්ථ කට්ටලයක් ප්‍රදානය කළේය‍. යුද්ධ හමුදාධිපතිතුමන් විද්‍යාල පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබුවේය.

ජාතික ආරක්‍ෂක විද්‍යාලය උපාය මාර්ගික චින්තනය ප්‍රවර්ධනය කරන ප්‍රමුඛතම ආයතනය වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක අවශ්‍යතා සහ ජාතික සංවර්ධනය සාක්‍ෂාත් කිරීම සඳහා ජාතික ආරක්‍ෂාව, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ රාජ්‍ය ප්‍රතිපත්ති යන ක්ෂේත්‍රවල ඉහළ සුදුසුකම් ලත් උපායමාර්ගික තීරණ ගන්නන් සංවර්ධනය කිරීමේ අභිප්‍රාය පෙරදැරිව ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පරිපූර්ණ දැනුමක් ලබාදීම වෙනුවෙන් ස්ථාපිත කර ඇත. ජාතික හා ජාත්‍යන්තර ආරක්‍ෂාව සම්බන්ධයෙන් රජයට වැදගත් වන උපදෙස් ලබාදෙනු ලබන මෙම ආයතනය ජාතික ආරක්‍ෂාවට අදාළ කරුණු පිළිබඳ වැදගත් තීරණ යෝජනා කරනු ලබන මණ්ඩලයක් ලෙස ද ක්‍රියා කරන අතර, රටේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ දැක්ම සකස් කිරීමේදී ඉතා වැදගත් කාර්යභායක් ඉටුකරයි.