Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th October 2020 22:32:13 Hours

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කරමින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් සිදුකරනු ලබන මානුෂීය කාර්යභාර්ය ඇතැමුන් අපකීර්තියට ලක් කිරීමට උත්සහ කරයි

(මාධ්‍ය ප්‍රකාශය)

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායන කිරීමේ දැවැන්ත කාර්යභාර්යේ යෙදී සිටින ත්‍රිවිධ හමුදා භටපිරිස් එම පුද්ගලයින් රැගෙන යෑමට නිවෙස් වෙත පැමිණිමට අවම වශයෙන් පැයකට පමණ පෙර ඔවුන් සමඟ දුරකථනය ඔස්සේ සම්බන්ධ වී මේ පිළිබඳ දැනුම්දීමක් සිදුකිරීමෙන් පසුව බස්රථ යොදවා සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශ වලට අනුකූලව එම පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදුකරනු ලබයි. ඒ අනුව, වෛරසය ආසාදනය වු පුද්ගලයෙකුගේ ආශ්‍රිතයෙකු රැගෙන යාමට පැමිණි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එම පුද්ගලයාට තත්පරයක කාලයක් තුල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යාමට බඩුබාහිර ආදිය ද රැගෙන නිවසෙන් පිටවීමට සුදානම් වන ලෙස අණ කල බවට කළුතර ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක පුද්ගලයෙකු විසින් කරන ලද චෝදනාව අසත්‍ය බවත්, එවැනි ප්‍රකාශයක් කිසිදු ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු විසින් කර නොමැති බවත් නිරෝධායන ක්‍රියාවලිය සඳහා රැගෙන ගිය පුද්ගලයින් වෙනුවෙන් ‘අමු කරවල’ ලබාදීමට කිසිදු ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු ක්‍රියා නොකරන බවත් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (18) දින උදෑසන රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනක මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් පැවසීය.

“අප නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇත්තේ වෛරසය ආසාදනය වුවන් සමඟ සෘජුවම සම්බන්ධවූ බවට සැක කෙරෙන පුද්ගලයින් පමණි. ඔවුන් පත්ව ඇති අවදානම් තත්ත්වය පිළිබඳ අප හොඳින් වටහාගෙන ඇති නමුත් වෛරසය සමාජයට සම්ප්‍රේෂණය විය හැකි බැවින් පත්ව ඇති අවදානම් තත්ත්වයේ බරපතලකම පිළිබඳ ඔවුන් වටහා ගත යුතුයි. රාජකාරි බහුලතාවය මධ්‍යයේ වුවද, එවන් චෝදනා පිළිබඳ මා පෞද්ගලිකව සොයා බලන අතර එම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මා හට පෙනීයයි. සත්‍ය වශයෙන්ම, මම සමහර අවස්ථාවලදී එම නිරෝධායන මධ්‍යස්ථාන වල නිලධාරීන් සමඟ සම්බන්ධ වී එම ආහාරවල ඡායාරූප පවා ගෙන්වාගැනීමට කටයුතු කරනවා. ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුල කාර්යබහුලතාවයක් පැවතියේ වෛරසය ආසාදනය වුවන් 800 ක් පමණ හමුවූ පළමු දිනයේ පමණි. අප සමාජයට වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට උත්සාහ කරන බව ජනතාව තේරුම් ගත යුතු අතර වෛරසය ආසාදනය වුවන්ගේ සමීපතයින් නිරෝධායන ක්‍රියාවලියට රැගෙන යාමට ප්‍රථම අදාළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සහ වෛද්‍ය නිලධාරීන්ට දන්වනු ලැබේ. අපි නිරෝධායන ක්‍රියාවලිය සඳහා රැගෙන විත් සිටින සියලුදෙනාට මෙට්ට සහ මදුරු දැල් ලබාදී ඇති අතර ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ කැපවූ සේවය මෙලෙස අපහාසයට හෝ නින්දාවට ලක් නොකළ යුතුය.” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් තවදුරටත් පැවසීය.

ඇඟළුම් කම්හලේ සේවකයින්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඔවුන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් මෙන්ම නිරෝධායන ක්‍රියාවලියේ යොදවා සිටින සියලු පුද්ගලයින්ට අපි ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපේම සහෝදරයින් ලෙස සලකන්නෙමු. මීට පෙර අවස්ථාවලදී ද ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ප්ලාස්ටික් බෝතල් කපා නිරෝධායනය වන පුද්ගලයින්ට වතුර බීමට ලබාදුන් බවට ද විවිධ පුද්ගලයින් විසින් අසත්‍ය කට කථා පැතිරවීමට උත්සහ කළා යැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර සිටියේය.

මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්, වසංගත රෝග විද්‍යාඥයින්, සෞඛ්‍ය බලධාරින් ඇතුළු අනෙකුත් සියලුම අංශයන්හි සහය ඇතිව සෞඛ්‍ය බලධාරින් ගේ අධීක්‍ෂණය යටතේ මේ දක්වා ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුල පුද්ගලයින් 52,000 කට අධික පිරිසක් මේ වනවිට නිරෝධායන කටයුතු සම්පූර්ණ කර ඇති අතර තවත් පුද්ගලයින් 10,000 කට අධික පිරිසක් තවමත් නිරෝධායන කටයුතු වල නිරතව සිටියි. ජාතියේ ආරක්‍ෂකයින් වශයෙන් අප සමාජයේ ක්‍රියාකාරිත්වය වෙනුවෙන් වැඩි දායකත්වයක් සපයන යුද්ධ හමුදාව ඇතුළු අනෙකුත් සන්නද්ධ හමුදාවන් වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම අවම කරගැනීමේ අධීෂ්ඨානයෙන් යුතුව කටයුතු කරන්නෙමු. එබැවින්, ත්‍රිවිධ හමුදාව විසින් ඉටුකරනු ලබන අභියෝගාත්මක කාර්යභාරය සාර්ථක කරගැනීම වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකිකයින්ගේ සහයෝගය අත්‍යාවශ්‍ය වේ. එම කාර්යභාරය ඉටුකිරීමේදී නොදැනුවත්ව අඩුපාඩු සිදුවිය හැකි අතර, වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීමට සියලු ශ්‍රී ලාංකිකයින් ගේ සහයෝගය ද යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී ඉල්ලා සිටියේය.

කළුතර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතුවල නිරත දේශීය ආයුර්වේද වෛද්‍යවරියක් අද (18) දින උදෑසන එම නාලිකාවේ පැවැති වැඩසටහනකට දුරකථනය ඔස්සේ සම්බන්ධ වී සිය අදහස් දක්වමින් එම මධ්‍යස්ථානයේ සේවය කරන භටපිරිස් ප්‍රධාන ආහාරවේල් සඳහා එළවළු, මාළු/ කුකුල් මස් හෝ බිත්තර ලබාදෙන බවත්, බොහෝවිට කොළ වර්ග, එළවළු වර්ග දෙකක් හෝ තුනක් ද ලබාදෙන බවත් ප්‍රකාශ කර සිටියේය. තවද, ඇතැම් පුද්ගලයින් විසින් සිදුකරනු ලබන ද්වේෂ සහගත ප්‍රකාශ ඇය මෙහිදී ප්‍රතික්ෂේප කළාය.

ගෝලීය වශයෙන් දැඩි සෞඛ්‍ය අභියෝගයකට මුහුණ පා ඇති මෙවන් අවස්ථාවක භටපිරිස් විසින් ඉටුකරනු ලබන විශිෂ්ට කාර්යභාරය කෙලෙසීමට හෝ සමච්චලයට ලක්කිරීමට උත්සහ දරණ පුද්ගලයින්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරන බවත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.     

මෙම සාකච්ඡාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් මේ පිළිබඳ සොයාබලා සත්‍ය පමණක් වාර්තා කරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය. (නිමාව)best shoes | Nike sneakers