Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th September 2021 08:32:44 Hours

කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් හා මරණ අනුපාතය අවම කරගැනීම සඳහා දායකත්වය දැක්වූ සියලුදෙනාට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුම්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (24) දින කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී තවත් එක් සාකච්ඡාවක් පැවැත්විණි.

එම සාකච්ඡාව අතරතුරදී, කොවිඩ් -19 වෛරසය ආසාදිත රෝගින්ට නිවෙස්ගතව ප්‍රතිකාර සිදුකිරීමේ කළමනාකරණ පද්ධතිය මෙහෙයවන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මෙන්ම කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්යසාධක බලකා සාමාජිකයින්, විශේෂඥ වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්යමණ්ඩල නිලධාරින්, සිවිල් හා ත්‍රිවිධ හමුදා වෛද්‍ය නිලධාරීන්, හෙද හෙදියන්, ගිලන්රථ සේවකයින්, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිලධාරින් සහ සෙසුනිලයින් ඇතුළු සියලුම පාර්ශවකරුවන් සිදුකරනු ලැබු සේවය සහ කැපකිරීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය.

පසුගිය කාලසීමාව තුළ මහජනතාව අතර කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම අවම කරගැනීමට හැකිවීම පිළිබඳ රටක් වශයෙන් අපට ආඩම්බර විය හැකි සුවිශේෂි කරුණකි. වසරක් පුරාවට සහෝදර වෛද්‍ය කාර්යමණ්ඩලය ඇතුළු සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ නොපසුබට කැපකිරීම් සහ දායකත්වය මත කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් මෙන්ම වැඩිහිටියන්ගේ මරණ අනුපාතය අවම කරගැනීමට අපට හැකි වු බව යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම සාකච්ඡාව අතරතුරදී පෙන්වා දුන්නේය.

“මෙම වසංගතය මුළුමනින්ම මෙරටින් තුරන් කිරීමට අදිටන් කරගනිමින් සංචරණය, මහජන ඒකරාශීවීම් සහ සමාජ දුරස්ථභාවය සඳහා පනවා ඇති සංචරණ සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව වුවද, අප පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමුකර දැඩි සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන් අඛණ්ඩව අනුගමනය කළ යුතුයි.” යනුවෙන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී වැඩිදුරටත් එහිදි පැවසීය.

නිරෝධායන ක්‍රියාවලිය, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සහ දැනට ක්‍රියාත්මක වන ජාතික එන්නත්කරණ වැඩසටහන පිළිබඳ මෙම සාකච්ඡාව අතරතුරදී අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා එම යාන්ත්‍රණයන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පැවසීය.

“එසේම, නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් - 19 වෛරසය ආසාදිත රෝගීන්ට 1904 සහ 247 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වී වෛද්‍ය උපදෙස් ලබාදීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය එක්ව මෙහෙයවනු ලබන නිවෙස්ගතව ප්‍රතිකාර සිදුකිරීමේ කළමනාකරණ පද්ධතියේ දායකත්වය කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගින් සහ මරණ අනුපාතය අවම කරගැනීමට උපකරි විය. නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ භාවිතය සඳහා ඔක්සිමාපක (Oximeters) වැනි වෛද්‍ය උපාංග පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘති ආරම්භ කිරීම පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට ස්තූතිය පුද කරමි.” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය.

ජාතික එන්නත්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය, ගුවන් තොටුපලේ ක්‍රියාත්මක නව නිරෝධායන ක්‍රියාපටිපාටි, තරුණ තරුණියන් එන්නත් ලබාගැනීම අඩුවීම, පවතින නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු හඳුන්වාදිය යුතු නව සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් සහ සෞඛ්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ ද මෙම සාකච්ඡාවේදී අවධානයට යොමු කෙරිණි. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඔක්තෝබර් මස 1 වන දින සිට පවතින නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කිරීමට නියමිතව ඇත.

“මුදල් ඇමති ගරු බැසිල් රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ රැස්වූ ජනාධිපති කාර්ය සාධක බලකාය, දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය පිළිබඳ අවධානය යොමු කළ අතර නිරෝධායන ඇදිරිනීතිය අඛණ්ඩව පවත්වාගෙන යාම හෝ ඉවත් කිරීමේ තීරණය අතිගරු ජනාධිපතිතුමන් මෙරටට පැමිණි පසු ගනු ලබයි. ගතවූ දින 3 තුළ වෛරසය ආසාදිතයින්ගේ මෙන්ම මරණ අනුපාතය අවමවීම මහජන ඒකරාශිවීම් සීමා කරමින් පැනවු ඇඳිරි නීතිය දීර්ඝ කිරීමේ සෘජු ප්‍රතිඵලයක් වන අතර මාර්ගයේ පෞද්ගලික වාහන වැඩිපුර තිබීම යන්නෙන් අදහස් කෙරෙන්නේ පොදු ප්‍රවාහන සේවාව භාවිතය අඩුවීමයි.” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් එහිදි පැවසීය.

විදේශ ගතවීමට නියමිත සිසුන්ට හා විදේශ ශ්‍රමිකයින්ට ප්‍රමාණවත් තරම් එන්නත් මාත්‍රාවන් තිබීම, තවත් එන්නත් මාත්‍රා මිලියන 2.7 ක් මෙරටට රැගෙනඒම, තරුණ තරුණියින් එන්නත් ලබාගැනීමට උනන්දුවක් නොදැක්වීම, විදේශීය ශ්‍රමකයින් මෙරටට ගෙන්වා ගැනීම, සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද යටතේ පාසල් විවෘත කිරීම, නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු එළඹෙන උත්සව සමය සඳහා සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශ හදුන්වාදීම ඇතුළු තවත් වැදගත් කරුණු රැසක් එහිදී සාකච්ඡාවට බඳුන් විය.

මෙම සාකච්ඡාව ආරම්භයේදී, පසුගිය දින කිහිපය තුළ කොවිඩ්-19 වෛරසය දිවයින පුරා පැතිරයාම පාලනය කිරීම සඳහා ගනු ලැබු පියවරයන් පිළිබඳ අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඒ සඳහා සහයෝගය ලබාදුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ඇතුළු සියලුදෙනාට ස්තූතිය පුද කළේය. මෙම සාකච්ඡාව සඳහා එක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ අනෙකුත් පාර්ශවකරුවන් ද මෙහිදි සිය අදහස් ඉදිරිපත් කළහ.