Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2023 20:10:11 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම, භටපිරිස් ප්‍රදේශයේ නායයෑමේ අවධානමට ලක්ව ඇති ස්ථාන නිරීක්‍ෂණය කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම, රාජකාරියෙහි නියුතු මාණ්ඩලික නිලධාරීන් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ එක්ව පසුගිය ඉරිදා (නොවැම්බර් මස 26) දින ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ නායයාමේ තර්ජනයට ලක්ව ඇති මලිත්තගොල්ල ගම්මානයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ.

පසුගිය ඉරිදා (නොවැම්බර් මස 26 ) දින එම ප්‍රදේශය නාය යෑමේ තර්ජනයකට මුහුණු පා ඇති බවට 112 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් 11 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් වෙත දැනුම් දෙන ලදී.

හදිසි නායයෑම් අවස්ථාවන්හිදී ඇති විය හැකි ආපදා තත්ත්වයන් සඳහා පෙර සූදානම් කටයුතු සාකච්ඡා කිරීම, තක්සේරු කිරීම සහ සැලසුම් කිරීමේ අරමුණින් මෙම නිරීක්‍ෂණ චාරිකාව සිදු කළහ.

නිරීක්‍ෂණ චාරිකාවේදී යුද්ධ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඇල්ල-වැල්ලවාය මාර්ගය ඔස්සේ පැය 24 පුරා මාර්ග බාධක යොදා අවදානම් සහිත ස්ථාන පිළිබඳව පොලිසියේ සහාය ඇතිව මගීන් දැනුවත් කිරීමටත්, ඇති විය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳව ජනතාව දැනුවත් කරන මාර්ග සංඥා සවි කිරීමටත්, රාත්‍රී කාලයේ එම ස්ථාන ආලෝකමත් කර අනතුරු ඇඟවීමේ පද්ධතියක් සවි කිරීමටත් තීරණය කරනු ලැබීය.

පවතින අධික වර්ෂාපතනය පහව යන තෙක් පවුල් 09 කට ආරක්‍ෂිත ස්ථාන වෙත යන ලෙස එම නිවෙස් හිමියන්ට වැඩි දුරටත් එහිදී උපදෙස් දෙනු ලැබීය.