02nd November 2023 20:54:59 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, 20 වන සංවත්සර දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් යටතේ ඔක්තෝම්බර් මස 26 දින සිට 31 දින දක්වා ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව සැමරුම් වැඩසටහනක් සංවිධානය කරන ලදී.
සර්ව ආගමික ආශිර්වාදය මධ්‍යයේ සංවත්සර සැමරුම් උත්සවය ආරම්භ වූ අතර, එහිදී භටපිරිස් සහභාගීත්වයෙන් මඩකලපුව ශාන්ත මරියා දෙව්මැදුරේ, කාත්තන්කුඩි අල්-අක්සා ජුම්මා මුස්ලිම් පල්ලියේ සහ කල්ලඩි මුරුගන් කෝවිලේ දේව මෙහෙයන් පැවැත්විණි. අනතුරුව ඉරිදා (ඔක්තෝබර් මස 29) දින සෝමාවතිය සෑරදුන් අභියසදී විශේෂ බෝධි පූජා පිංකමක් පැවැත්වීමෙන් අනතුරුව සැමරුම් උත්සවයේ ආගමික වතාවත් අවසන් විය.
සංවත්සර දිනය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත ඒකකයන්හි භටපිරිස් සහභාගීත්වයෙන් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 27) දින වොලිබෝල් තරඟාවලියක් පවත්වන ලද අතර, එහිදී ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කරන ලදී.
සංවත්සර දිනය යෙදී තිබූ අඟහරුවාදා (ඔක්තෝම්බර් මස 31) දින ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනැමීමෙන් පසුව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පිරිනමන ලදී.
එතුමන්, භට පිරිස් අමතමින් නැගෙනහිර ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවත්වාගෙන යාමට භටපිරිස් කැපවීමෙන් යුතුව රාජකාරි සිදුකිරීම පිළිබඳව ප්‍රශංසා කළ අතර, මාතෘභූමියේ ඒකීය භාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කිරීමේදී රණක්‍ෂිතයට පත් සහ ජීවිත පරිත්‍යාගයන් සිදුකළ සියලුම වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් සිය කෘතවේදීත්වය පළ කළේය.
සංවත්සර දිනය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරන ලද අතර, අනතුරුව සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය. ඉන්පසුව එතුමන් සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වු අතර, එදින සවස පැවැත් වූ සංගීත ප්‍රසංගයෙන් අනතුරුව උත්සවයේ කටයුතු අවසන් විය.
උත්සව මාලාව සඳහා 22, 23 සහ 24 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් වන මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී, මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් එච්.ඩබ්ලිව්.ඩි.සී මෙත්තානන්ද යුඑස්පී එන්ඩීසී, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.