Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th March 2017 21:23:21 Hours

අවතැන් වූ පවුල් 33 ක් සඳහා නලිනක්කපුරම් නිවාස සංකීර්ණයෙන් නව නිවාස

යාපනය ප්‍රදේශයේ ස්ථාපිත සුබසාධක මධ්‍යස්ථානයන්හි වාසය කළ අවතැන් වූ පවුල් 33 ක් සඳහා නලිනක්කපුරම් නව නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීම සිකුරාදා (10) දින නලිනක්කපුරම් ප්‍රජා ශාලාවේ පැවති චාම් උත්සවයක දී සිදු කරන ලදි.

මීට මාස කිහිපයකට පෙර ක්‍රියාත්මක කළ කීරමලේ නිවාස ව්‍යාපෘතියේ දී අවතැන් වූ පවුල් 100 ක් සඳහා නිවාස ඉදිකර දුන් අතර, මෙම නව නිවාස සංකීර්ණය එහි දෙවන අදියර වේ. තාක්ෂණික වශයෙන් ප්‍රවීණ යුද, නාවික, ගුවන් හමුදා සාමාජිකයින් සහ ප්‍රතිලාභීන්ගේ සාමුහිකත්වයෙන් දින 60 ක් තුල දී මෙම ව්‍යාපෘතීය සාර්ථකව නිම කළහ.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුර්ණ අධික්ෂණයෙන් අදාල ග්‍රාම නිලධාරීන්ගේ නිර්දේශයෙන් සුබසාධක මධ්‍යස්ථානවල වාසය කළ අයවලුන්ගෙන් තෝරාගත් ප්‍රතිලාභීන් වෙත මෙම නිවාස පිරිනැමූ අතර, එම එක් නිවසක් සඳහා රජය වෙතින් රුපියල් මිලියනයක මුදලක් වැය කර ඇත.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්විම යටතේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් මීට පෙර ඉදිකළ කීරමලේ ව්‍යාපෘතියට මෙන්ම මෙම නව ව්‍යාපෘතියට ද උර දී කටයුතු කළ අතර, සිකුරාදා දින පැවති මෙම නව නිවාස ප්‍රදානය කිරිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වෙදනායහම් මහතා සහභාගි විය.

ඒ අනුව, හින්දු ආගමික වතාවත්වලට අනුකූලව නලිනක්කරපුරම් ප්‍රජා ශාලාවේ දී ප්‍රතිලාභීන් වෙත හිමිකම් සහතික ප්‍රදානය කිරීම සිදු කෙරිනි.

මෙම හිමිකම් සහතිකපත් ප්‍රදානය යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වෙදනායහම් මහතා, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහ 51 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා විසින් සිදු කරනු ලැබිය.

මෙහි එක් නිවසක් පර්චස් 20 ක භුමි ප්‍රමාණයක ඉදිකර ඇති අතර, එය නිදන කාමර 02ක්, විසිත්ත කාමරයක් සහ කෑම කාමරයක්, මුළුතැන්ගෙයක් සහ වැකිලියකින් මෙන්ම නාන කාමරයකින් සමන්විත වේ. එමෙන්ම සෑම නිවසක් සඳහාම ජල ටැංකියක් ලබාදී ඇති අතර, විදුලිය, මාර්ග පද්ධතිය, ප්‍රජා ශාලාව, වෙළදසැල් සඳහා භූමි ප්‍රදේශයක්, ජල පිරිපහදු යන්ත්‍රයක් සහ අපද්‍රව්‍ය බැහැර කිරිමේ පද්ධතියක් වැනි පහසුකම් ද සපයා දී ඇත.

මෙම උත්සව අවස්ථාව ඇමතු මේජර් ජෙනරාල් සේනානායක විසින් රජයේ මඟපෙන්විම යටතේ යුද හමුදාවේ අරමුණ වනුයේ යාපනය ප්‍රදේශයේ සිටින අවතැන් වූ සියලු වැසියන් වෙත නිවාස ලබාදීම වන බවත්, ඉදිරියේ දී මවන්කල්ලඩ්ඩි ප්‍රදේශයේ නාවික හා ගුවන් හමුදා සහාය ඇතිව නිවාස 225 ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරිමට නියමිත බවත් පැවසීය.

තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කේ. ශ්‍රී මෝහනන් මහතා, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, 513 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සිසිර පිලපිටිය, 515 බලසේනාවේ බලසේනාධිපති කර්නල් සනත් අලුවිහාරේ, 511 බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්දන වික්‍රමසිංහ, හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ ප්‍රතිලාභීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Buy Sneakers | Nike Shoes